Tuesday, December 11, 2012

සිදතෙ ලිංග විග්‍රහය



සිදත් සඟරා කතුවරයා ලිංඟ විග්‍රහයේ දී සමාජ ලිංඟය දෙස අවදානය යොමුකර ඇතත් එයට අදාළ නිදසුන් දක්වා ඇත්තේ ව්‍යාකරණ ලිංඟයට අනුවය.

            13 වන සියවසේ හෙවත් දඹදෙනි යුගයේ දී අනවමදර්ශි නම් හිමි නමක් විසින් සම්පාදනය කරනු ලැබූවක් යැයි සැලකෙන සිදත් සඟරාව මූලික කොටගනිමින් විද්වතුන් අතර ගොඩනැගී ඇති මතවාද රාශියකි. එම මතවාද අතර සිදත් සඟරාවේ කර්තෘත්ත්වය පිළිබඳව මෙන්ම එය පද්‍ය සඳහා සම්පාදනය වූවක් ද ? නැතිනම් ව්‍යාකරණය සඳහා සම්පාදනය වූවක් ද ? යන්න සහ එහි ඇති විසි වැදෑරුම් වියරණ විධි පිළිබඳව ද ගොඩනැගුණු මතවාද ප්‍රමුඛ වේ. මෙලෙස සිදත් සඟරාව පිළිබඳව නොයෙකුත් මතවාද ගොඩනැගීමට හේතු වී ඇත්තේ  ඇතැම් කරුණු විග්‍රහ කිරීම සම්බන්ධයෙන් සිදත් සඟරා කතුවරයා දැක් වූ දුර්වල සමාර්ථ්‍යයයි. සිදත් සඟරාව තුළ විග්‍රහ වන ලිංඟ භේදය ද මෙලෙස මතවාදී ගැටුම් ඇති කිරීමට මුල් වූ අවස්ථාවක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
                   සිදත් සඟරාවේ ලිංඟාධිකාරය බොහෝ ව්‍යාකරණඥයන්ගේ අවධානයට භාජනය වූ පරිච්ජේදයකි. එයට හේතුව වූයේ සිදත් සඟරා කතුවරයා විසින් දැක් වූ ලිංඟ විග්‍රහය හා ඊට අදාළව දෙන ලද නිදසුන් අතර පරස්පරතාවයක් දක්නට ලැබීමයි.  සිදත් සඟරා කතුවරයා ලිංඟ විග්‍රහයේ දී අවධානය යොමුකර තිබුණේ සමාජ ලිංඟය දෙසට වුවත් ඊට අදාළ නිදසුන් දක්වා ඇත්තේ ව්‍යාකරණ ලිංඟයට අනුව වීම මෙම පරස්පරතාවය ඇති කිරීමට හේතු විය. ඒ පිළිබඳව යම් විමර්ශනයක යෙදීම මෙහි අරමුණ බවට පත් වේ.
                   මුලින්ම සමාජ ලිංඟය යනු කුමක් ද යන්න හඳුනාගනිමු. එය පොදු ලිංඟය, ස්වාභාවික ලිංඟය, ව්‍යවහාර ලිංඟය, හා අර්ථානුගත ලිංඟය යනාදි නම්වලින් ද හඳුන්වනු ලැබේ. ව්‍යාකරණ ලිංඟය අභාවයට යෑමත් සමඟ ඒ වෙනුවට පැමිණි ලිංඟයක් වශයෙන් සමාජ ලිංඟය හඳුන්වා දියහැකිය. මෙම ලිංඟ ක්‍රමයේ දී අර්ථය පමණක් සැලකිල්ලට ගනිමින් ලිංඟ බෙදා දැක්වීමක් සිදුකරණු ලබයි. ඒ අනුව සියලුම ශබ්ද අචේතනික සහ සචේතනික වශයෙන් කොටස් දෙකකට බෙදෙන අතර එහි දී සචේතනික ශබ්ද අතුරෙන් පුරුෂවාචි ශබ්ද පුරුෂ ලිංඟයටත්, ස්ත්‍රීවාචි ශබ්ද ස්ත්‍රී ලිංඟයටත් අයත් සේ සලකනු ලබයි. අචේතනික ශබ්ද අයත් වන්නේ නපුංශක ලිංඟ ගණයටයි. ක්‍රි.ව. 4 වන සියවසේ දී පමණ ලිංඟ භේදය කෙරෙහි අචේතන සචේතන භේදය බලපෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජ ලිංඟ ක්‍රමයට අනුව සිංහලයේ ලිංඟ භේදය හැඩගැසෙන්නට විය. එසේ වුවද මුල් යුගයේ පැවති ව්‍යාකරණ ලිංඟ ක්‍රමය මුළුමනින්ම අභාවයට ගිය බවක් පැරණි සම්භාව්‍ය කෘතිවලින් පෙන්නුම් නොකරයි.
              ව්‍යාකරණානුගත ලිංඟ භේදය යනු වරනැගීමේ රටාව හා විභක්ති ගන්නා ආකාරය පදනම් කරගනිමින් තීරණය කරණු ලබන ලිංඟ භේදයයි. සිංහල ප්‍රාකෘත යුගයේ ( ක්‍රි.පූ. 3 වන සියවසේ සිට 4 වන සියවස දක්වා ) සිංහලයේ භාවිත වී ඇත්තේ මෙම ලිංඟ ක්‍රමයයි. පාලි සංස්කෘත වැනි භාෂාවල ක්‍රියාත්මක වන්නේ  ද මෙම ව්‍යාකරණ ලිංඟ ක්‍රමයයි. මෙම ලිංඟ ක්‍රමයේ දී කිසියම් ශබ්දයක් අර්ථයෙන් ස්ත්‍රී ලිංඟ වුවද , පුරුෂ ලිංඟ වුවද , නපුංශක ලිංඟ වුවද එය වෙනත් ලිංඟයක් ලෙස වරනැගේනම් වරනැගෙන ලිංඟයට අනුව එම ශබ්දයේ  ලිංඟය තීරණය කරණු ලබයි. උදාහරණයක් ලෙස අප්‍රාණවාචි ශබ්දයක් වන වෘක්‍ෂ ශබ්දය පුරුෂ ලිංඟයටත්, ස්ත්‍රී අර්ථයක් පැවසෙන දාර, මාතුගාම ශබ්ද පුරුෂ ලිංඟයටත්, අප්‍රාණවාචි අර්ථ දෙන සභා, ලංකා, ගංගා, නදී ශබ්ද ස්ත්‍රී ලිංඟ ශබ්ද ලෙසත්, මේ, ආලෝක, ලෝක, චාග, ගාම, ආදී ශබ්ද පුරුෂ ලිංඟ ශබ්ද ලෙසත්, පුරුෂ ලිංඟ අර්ථයක් දෙන මිත්‍ර ශබ්දය නපුංශක ලිංඟයක් හැටියටත්, භාර්‍යයාව යන අර්ථය දෙන කලත්‍ර ශබ්දය අර්ථයෙන් ස්ත්‍රී ලිංඟ වුවද නපුංශක ලිංඟයක් හැටියටත්, සලකා තීරණය කොට ඇත්තේ වරනැගීමේ රටාව පදනම් කරගනිමිනි.
                 ඉහත පැහැදිලි කිරීම ඔස්සේ මීළඟට සිදත් සඟරාවේ දැක්වෙන ලිංඟ විග්‍රහය හඳුනාගනිමු. සිදත් සඟරා කතුරවරයා ලිංඟ විග්‍රහය සිදුකොට ඇත්තේ පහත සඳහන් ආකාරයටය.
                  “මේය මෝය යන වහරට කරුණු වූයේ ලිඟුනම්

                  පුරුෂයෙක් හා ස්ත්‍රියක් යනුවෙන් ව්‍යවහාර කිරීමට කරුණු වු ශබ්ද ලක්‍ෂණයන්ගෙන් යුක්ත නම් එය ලිංඟය යනුවෙන් හඳුන්වන බව මෙහි අදහසයි. දෙවනුව ලිංඟ භේදය පිළිබඳ කරුණු සවිස්තරාත්මකව ලිංඟාධිකාරයෙහි සඳහන් වෙයි.

                “සකුසන් අනුසරෙන්
                            ඇත ද සදනට ලිඟු බේ
               නො පැනේ වහර වෙසෙසෙක්
                            පුම ඉතිරි ලිඟු දෙක විනා

                  සංස්කෘත ශබ්දානුසාරයෙන් ශබ්දයන්ට ලිංඟ භේදයක් පැවතියත් සිංහලයේ ඇත්තේ ස්ත්‍රී හා පුරුෂ වශයෙන් ලිංඟද්වයක් පමණක් වන බව සිදත් කතුවරයා පවසයි. මෙම කියමෙනෙහි පැහැදිලි අරුතක් දෙන බවක් නොපෙනේ. සංස්කෘත  ශාස්ත්‍රානුසාරයෙන් ශබ්දයනට ලිංඟ භේදයක් ඇතැත් සියබසෙහි ලිංඟ භේදයක් නැතැයි කීවානම් එහි තේරුමක් ඇත. එසේ නැත්නම් සංස්කෘත ශබ්ද ශාස්ත්‍රානුසාරයෙන් ශබ්දයනට නොයෙක් ලිංඟභේද ඇතැත් සියබසෙහි ඇත්තේ ස්ත්‍රී පුරුෂ ලිංඟ දෙක පමණක්යැයි කීවානම් එයටද අරුතක් ඇත. එසේ නොමැතිව කරන ලද මුල් විස්තරයට අනුව ස්ත්‍රී පුරුෂ දෙක ලිංඟ භේදයට අයත් නොවන දෙකක්දැයි පැනයක් නැගේ.
                   මෙහි දී කතුවරයා පවසා ඇත්තේ පුරුෂ ලිංඟ, ස්ත්‍රී ලිංඟ, නපුංශක ලිංඟ යැයි ත්‍රිවිධ ලිංඟ භේදයක් පාලි සංස්කෘතයේ ඇතත් සියබසෙහි ඇත්තේ ස්ත්‍රී හා පුරුෂ යන ලිංඟද්වය පමණක් වන බවයි. එම විග්‍රහය සිදුකිරීමේදී ද සිදත් සඟරා කතුවරයා බලවත් අවුලක් ඇතිකොට ඇති බව පෙනේ.
                     පාලි සංස්කෘත භාෂාවන්ගේ ලිංගත්‍රයක් පවතින බව උදාහරණ මඟින් පෙන්නීම සඳහා කතුවරයා යොදාගෙන ඇත්තේ මේයන අර්ථය දෙන ඒතශබ්දයයි. එය ප්‍රථමා විභක්ති ඒක වචනයෙන් ලිංගත්‍රයෙහි වරනැගෙන්නේ පහත ආකාරයෙනි.

                 පුරුෂ                   ස්ත්‍රී                  නපුංශක
පාලි             ඒසෝ                   ඒසා                  ඒතං
සංස්කෘත        ඒෂං                     ඒෂා                  ඒතන්

            මෙය ආදර්ශයට ගනිමින් මේශබ්දය සිංහලයේ ලිංගත්‍රයෙහි පෙර විබත් ඒක වචනයේ වරනැගෙන ආකාරය කතුවරයා පෙන්වා දේ.

             පුරුෂ                   ස්ත්‍රී                  නපුංශක
පෙර        මේ                     මෝ                     මේ

             මෙහි දි පුරුෂ ලිංඟ හා නපුංශක ලිංඟ පෙර විබත් රූපවල වෙනසක් දක්නට නොමැති බැවින් කතුවරයා සිංහලයේ ඇත්තේ ස්ත්‍රී පුරුෂ ලිංඟ දෙක පමණ+ක්යැයි පවසන්නට ඇති බව ඇතැම්හු පවසති. එහෙත් සිදත් සඟරා කතුවරයා   මේශබ්දය පෙර විබක්තියෙහි මෙන්ම අනෙකුත් විබක්තිවල ද වරනැගුවේනම් සිංහලයෙහි ස්ත්‍රී, පුරුෂ, නපුංශක, වශයෙන් ලිංගත්‍රයක් පවතින බව වැටහෙනු ඇත.
              කෙසේ වෙතත් ස්ත්‍රී, පුරුෂ, වශයෙන් ලිංගද්වයක් පමණක් ඇති බව පවසන කතුවරයා ජීව විද්‍යාත්මක කරුණු පදනම් කොටගෙන ලිංඟ භේදය තවදුරටත් වර්ගීකරණය කරයි.
                  “පණන් හදන් සුන්
                         පවසනුයේ පුමලිඟු වේ
                 සහයොන් සතුන් කියලු
                         සද වේ ඉතිරි ලිඟු නම්

                පිරිමි නිමිත්තෙන් යුක්ත වූ ප්‍රාණින් පිළිබඳ ප්‍රකාශ කරන ශබ්ද පුරුෂ ලිංඟ බවත් යෝනි සහිත සතුන් පිළිබඳ ප්‍රකාශ කරන ශබ්ද ස්ත්‍රී ලිංඟ බවත් එහි තේරුමයි. එයට අදාළව සිදතෙහි දැක්වෙන නිදසුන් කිහිපයක් පහත පරිදි පෙන්වා දියහැකිය.

         පුරුෂ ලිංඟ ශබ්ද

1          බඹ       -  ( බ්‍රහ්මයා )
2          සුර       -  ( සුරයා )
3          අසුර     -  ( අසුරයා )
4          නර       -  ( මනුෂ්‍යයා )
5          නා        -  ( නාගයා, ඇතා )
6          ගුරුළු   - ( ගරුඩා )
7          පත්රිය - ( පක්‍ෂියා, සකු පත්‍රරථ )


ස්ත්‍රී ලිංඟ ශබ්ද

1          දෙව්දු    -  ( දේව දුහිතෘ )
2          නැයිනි  -  ( නැයින්න )
3          ගුරුළු මෙනවි   - ( ගරුඬ මානවිකා )
4          අඹු        -   ( අඹුව )
5          සුහුල්                -   ( නැන්දා )

පැහැදිලි ලෙසම ඉහත සඳහන් නිදසුන් පුරුෂ ලිංඟ හා ස්ත්‍රී ලිංඟ
ශබ්දවලට අයත්ය. එහෙත් අනතුරුව ස්ත්‍රී හෝ පුරුෂ සලකුණක් දක්නට නොලැබෙන අප්‍රාණවාචි නාම රැසක් ද කතුවරයා ස්ත්‍රී හා පුරුෂ ලිංඟ ශබ්ද සමුහයටම ඇතුළත් කොට ඇත.
                   මෙහි දි මතු වී පෙනෙන ප්‍රධානතම හා ප්‍රබලතම කරුණ වනුයේ මෙහි මුලදිම සඳහන් කළ ආකාරයට කතුවරයා සමාජ ලිංඟයට අනුකූලව ලිංඟ විග්‍රහය සිදුකොට  ඇතත් එයට අදාළ නිදසුන් දැක්වීමේ දි ව්‍යාකරණ ලිංඟය අනුගමනය කර ඇති බවයි. ව්‍යාකරණ ලිංඟයේ දි කිසියම් නාම පදයක අර්ථය නොසලකා හරිනු ලබන අතර එය වරනැගෙන රටාව පමණක් වැදගත්වන බව ඉහතින් කියවුණි. ඒ අනුව පහත සඳහන් නිදසුන් ගෙන විමසා බලමු.
                     ලෝකය, ජය, ජලය, යන අර්ථය දෙන දිය ශබ්දය අප්‍රාණවාචි වුවද සිදත් සඟරා කතුවරයා එය දක්වා ඇත්තේ පුරුෂ ලිංඟ පදයක් ලෙසිනි. පහතින් දැක්වෙනුයේ එබදු ආකාරයේම තවත් නිදසුන් කිහිපයකි.

පුරුෂ ලිංඟ ශබ්ද

1          දල         -  ( ජලය, පත්‍ර, ජ්වාල, ගිනි )
2          ඇඳුරු - ( පර්වතය )
3          මේ        -  ( මේඝය, වන් )
4          අඹර      -  ( ආකාශය, වස්ත්‍ර )
5          තුරු       -  ( වෘක්‍ෂය, තාරකා, තූර්‍යය )
6          රණ       -  ( යුද්ධය )
7          හදන් -  ( ලිංඟය )
8          ගහ       -  ( ගෘහය, ගෘහයා )
9          මරු       -  ( මාරුතය, මරණය, දෙවියා, වැලි )
10        රුවන් - ( මැණික් )
11        මුනි      - ( තාපස චින්තය )
12        ඉඳු   - (චන්‍ද්‍රා, ශ්‍රේෂ්ඨ, නායක )
13        සක්  - ( ශංඛ, චක්‍රය, ඇස් )

          ඉහතින් දක්වන ලද සියලුම නිදසුන් අප්‍රාණවාචි ගණයට අයත්වන වුව ද සිදතෙහි එම නිදසුන් දක්වා ඇත්තේ පුරුෂ ලිංඟය යටතේදි ය. පහත සඳහන් නිදසුන් දෙස ද බලන්න.
            විද්‍යා, විදුලිය යන අර්ථය දෙන විදු නම් ශබ්දය නපුංශක ගණයට අයත් වුව ද සිදතෙහි එය දක්වා ඇත්තේ ස්ත්‍රී ලිංඟ පදයක් වශයෙනි. පහත නිදසුන් ද එයට අනුගතය.

ස්ත්‍රී ලිංඟ ශබ්ද

1          ලිය   -  ( ලතා )
2          වසා  -  ( වන රොද, මේදස්, මේදනෙලි )
3          පෙළ  -  ( පාළි, පන්ති )
4          නිසා  -  ( රාත්‍රී )
5          නී    -   ( නදී )
6          ලද    -  ( ලජ්ජා, ලබ්ධි )
7          මෙවුල් - ( මේඛලා )

             ඉහත නිදසුන් මඟින් පැහැදිලි වනුයේ සිදත් සඟරා කතුවරයා සමාජ ලිංඟයට අනුව ලිංඟ විග්‍රහය සිදුකොට ඇතත් එයට අදාළ නිදසුන් දැක්වීමේ දී ව්‍යාකරණ ලිංඟයට අනුගත වී ඇති බවයි. ඒ අනුව ලිංඟ වරනැගීමේ රටාව පදනම් කොටගනිමින් අප්‍රාණවාචි නාම රැසක්ම ස්ත්‍රී හා පුරුෂ යන ලිංඟද්වයට ඇතුළත් කොට ඇති බව පෙනේ.