Tuesday, May 21, 2013

උස්ඇල්ල ගම ආශ්‍රිත ජනශ්‍රෘති අධ්‍යයනයක්


උස්ඇල්ල ගම ආශ්‍රිත ජනශ්‍රෘති අධ්‍යයනයක් (පරමාදර්ශී ගම අදටත් එලෙසම පවතී ද? )


හැඳින්වීම
තෙවන වසර සිංහල අධ්‍යයන පාඨමාලාවක් වශයෙන් හැදෑරීමට නියමිතව ඇති ජනශ්‍රුතිය පාඨමාලාව යටතේ ශිෂ්‍යයන්ට පවරන ලද පැවරුමකි. ඒ අනුව එක් එක් ශිෂ්‍යයින් එක් එක් ගම්මානයන් පිළිබඳ අධ්‍යයනයක යෙදෙන අතර මගේ අධ්‍යයනයට භාජනය වෙන ගම වනුයේ උස්ඇල්ලයි. උස්ඇල්ල යනු බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මහලන්ද ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නව ගම්මානයකි. එයට දීර්ඝ ඉතිහාසයක් නොමැති අතර එහි ආරම්භය සිදුව ඇත්තේ 1984 වර්ෂයේ දිය. ඒ වන විට ගමේ ජීවත්ව ඇති පවුල් සංඛ්‍යාව 12කි.

ඒ අනුව මා විසින් ගමට අයත් පහත සඳහන් තොරතුරු එක්රැස් කිරීමට බලාපොරොත්තු වෙමි.
            ගමේ පිහිටීම හා පසුබිම
            ගමේ ඉතිහාසය
            ගමට නම පටබැඳුන ආකාරය
            ගම ජනාවාස වූ ආකාරය
            ඉඩකඩම් බෙදී ගිය ආකාරය හා ඒවායෙහි පිහිටීම
            ගමේ පාලනය
            ගමේ පවතින ආගම නොයෙකුත් ප්‍රාථමික විශ්වාස, ඇදහිලි හා වත් පිළිවෙත්
            ගමේ සංවර්ධනය

ගමේ සංවර්ධනය
1.         ආර්ථිකය හා වෙළඳපොළ පහසුකම
2.         ජලය, හා විදුලිය
3.         සන්නිවේදනය
4.         මාර්ග සංවර්ධනය හා ප්‍රවාහන පහසුකම්
5.         අධ්‍යාපනය
6.         සෞඛ්‍ය


අරමුණ
            මේ තාක්කල් ගම ගැන සිදු නොකළ ආකාරයේ පර්යේෂණයක් සිදු කිරීම.
            එය කෘතියක් ආකාරයට සකස් කොට ගමේ පුස්තකාලයට ලබා දීම.

පර්යේෂණ ගැටලුව
පරමාදර්ශී ගම අදටත් එලෙසම පවතී ද?

            තාක්‍ෂණය විසින් ගම ආක්‍රමණය කොට ඇත.
            මිනිසුන් අතර පවතින සබැඳියාවේ අඩු බවක් දක්නට ඇත.
            සිරිත් විරිත් හා වත් පිළිවෙත් නවීකරණය වී ඇත. ( උදා - සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර )
            ගම නාගරීකරණයට භාජනය වෙමින් පවතී.
            පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පවුලේ සමාජික සංඛ්‍යාවේ දක්නට ලැබෙන අඩු බව හා ඔවුන් අතර    
            ඇති සබැඳියාවේ අඩු බව.

පර්යෙෂණ ක්‍රමය              
                  සම්මුඛ සාකච්ජා ක්‍රමය
                             ඒ සඳහා නියදික් තෝරා ගැනීම.

එහි දී සලකා බලනු ලැබූ කරුණු

1.       ගමේ පදිංච් පැරැන්නන් ද යන වග
2.       ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම
3.       වයස
4.       සමාජශීලී බව
5.       ( එහි දී ඔවුන් හා මා අතර   පවත්නා සුහදත්වය)
6.       සන්නිවේදන ශක්‍යතාව


පූර්ව අධ්‍යයනය
2008-02-18 දින ලංකාදීප පුවත්පතේ පළ වූ ලිපිය ( 24 පිට

කාල රාමුව
 මාතෘකාව       
·         ජනශ්‍රෘතිය සඳහා කරන ලද පූර්ව අධ්‍යනය  විමර්ශනය කිරීම හා දත්ත එක්රැස් කිරීම.
·         පර්යේෂණ යෝජනාව සැකසීම හා යෝජනාව ඉදිරිපත් කිරීම                                                                                                 
·         දත්ත එක්රැස් කිරීම                                                                                              
·         දත්ත පෙළ ගැස්වීම, නිගමනය හා ව්‍යාපෘති වාර්තාව සැකසීම                                                                                                
·         ව්‍යාපෘති වාර්තාව භාරදීම                                                                                                  

දුෂ්කරතා
            තොරතුරු ලබාගැනීමට යෑම සඳහා ඇති ගැටථව (කාලය, දුර)
            වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සොයා ගැනීමට ඇති අපහසුව
            අලුත් ගමක් වීම හා ඊට දීර්ඝ ඉතිහාසයක් නොවීම
            ගමේ පදිංචි මුල් පදිංචි කරුවන් වශයෙන් වැඩිහිටි කිසිවෙකුත් නොවීම හා සියල්ලන්ම පිට ගම් වලින්    
            පැමිණ පදිංචි වූවන් වීම
            බාල පරම්පරාව පමණක් ගමේ මුල්පදිංචි කරුවන් වීම සහා ඔවුන් ගම ගැන කිසිවක් නොදැන සිටීම

හැඳින්වීම
ගම යන පදය සංස්කෘතයෙන් ග්‍රාම යන්නද, පාලියෙන් ගම යන්නෙන් ද ප්‍රභවය වී පැවත එන්නකි. එහි වචනාර්ථය සමූහය හෝ එකට යන්නයි. රාඡ්‍යයක තිබෙන කුඩාම ඒකකය ගම වේ. ගම පිළිබඳ විවිධ අර්ථකථනයන් ඉදිරිපත්ව තිබේ. ඒ අතර සමාජ විද්‍යාත්මක මතය  වන්නේ සාපේක්ෂ වශයෙන් හුදෙකලාව පිහිටි සම ජාතියක් හා කුඩා පරිමාණ සමාජ ඒකකයක් වන අතර ප්‍රාථමික සබඳතා මත එහි සමාජ ව්‍යුහය සකස් වී ඇති බවයි. ඒ පිළිබඳ ගැමි මතය වන්නේ ජීවත්ව වන සියලු දෙනාම ජාති භේද කුලමල යනාදියෙන් දුරස්ව එකමුතුව සිටිය යුතු තැනක්ය යන්නයි. මේ සඳහා දියහැකි පොදු අර්ථකතනය වන්නේ යැපුම් මට්ටමක ආර්ථිකයක් පවත්වා ගන්නා අතර තමාට නිපදවාගත නොහැකි දෑ (ලුණු, කරවල වැනි) සපයා ගැනීමට නගරය සමඟ බද්ධ වී, විවාහය, කෘෂිකර්මාන්තය, පාලන ක්‍රමය, ආගම දහම, ඇදහිලි හා විශ්වාස ඔවුනට අනන්‍ය වූ ක්‍රමවේදයන් මත සිදුකරගෙන යන ජන කණ්ඩායමක් වන බවයි. මෙකී ගම නගරයෙන් වෙන්කොට තබන ලක්‍ෂණ රාශියක් දැකගත හැකිය. ඒ අතර ප්‍රධාන වූවක් වනුයේ ජනශ්‍රුතියයි. ගමක පවත්නා සිරිත් විරිත් , ප්‍රාථමික ඇදහිලි හා විශ්වාශ ගම නගරයෙන් වෙන්කොට තබන අවශේෂ ලක්‍ෂණයෝය. ජනශ්‍රුතිය වනාහි පැරැන්නන්ගේ චින්තනය හා තාක්‍ෂණය වාචික සම්ප්‍රදායෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යෑමක් ලෙස අර්ථකතනය කළ හැක. මේ සඳහා ජන සාහිත්‍ය , සිරිත් විරිත්, වත් පිළිවෙත්, අනිස්වාභාවික දෘෂ්ටාර්ථ කතා , ප්‍රස්ථාව පිරුථ යනාදිය ඇතුළත් වන බව විලියම් තෝමස් විසින් පෙන්වා දේ. ආනන්ද කුමාරස්වාමි පවසනුයේ පැරණි මානව සම්ප්‍රදාය, පුරාණෝක්ති, සුරංගනා කතා, කවි, සෙල්ලම් භාණ්ඩ, කලා ශිල්ප, වෙදකම, ගොවිකම ඊට ඇතුළත් වන බවයි. කෙසේ නමුදු ජනශ්‍රුතියේ ප්‍රධාන අංගයන් ලෙස ජන සාහිත්‍ය හා පුරාණෝක්තිය හඳුන්වා දිය හැකිය.
                 ගමක පවත්නා මෙකී ජනශ්‍රුතිය පිළිබඳ අධ්‍යයනයක යෙදීම තෙවන වසර සිංහල අධ්‍යයන පාඨමාලාවක් වශයෙන් හැදෑරීමට නියමිතව ඇති ජනශ්‍රුතිය පාඨමාලාව යටතේ ශිෂ්‍යයන්ට පවරන ලද පැවරුමකි. ඒ අනුව එක් එක් ශිෂ්‍යයින් විසින් එක් එක් ගම්මානයන් පිළිබඳ අධ්‍යයනයක යෙදෙන අතර මගේ අධ්‍යයනයට භාජනය වෙන ගම වනුයේ උස්ඇල්ලයි.
               උස්ඇල්ල යනු බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මහලන්ද ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නව ගම්මානයකි. එයට දීර්ඝ ඉතිහාසයක් නොමැති අතර එහි ආරම්භය සිදුව ඇත්තේ 1984 වර්ෂයේ දිය. ඒ වන විට ගමේ ජීවත්ව ඇති පවුල් සංඛ්‍යාව 12කි. ඒ අනුව මෙකී ගමේ ආරම්භය, පරිණාමය හා වර්තමානය තත්ත්වය පිළිබඳව පහත අංශ ඔස්සේ කරුණු සොයා බැලීමක් මෙම නිබන්ධනය යටතේ සිදුවේ. ගමේ පිහිටීම හා පසුබිම, ගමේ ඉතිහාසය, ගමට නම පටබැඳුන ආකාරය , කුටුම්භ සංරක්ෂණය හා ජනාවාස රටාව,  ගම ජනාවාස වූ අයුරු, ඉඩකඩම් බෙදී ගිය ආකාරය හා ඒවායෙහි පිහිටීම, ගමේ පාලනය, ආගමික නැඹුරුව හා ලබ්ධිය , ගමේ පවතින නොයෙකුත් ප්‍රාථමික විශ්වාස ඇදහිලි හා වත් පිළිවෙත්, ආර්ථික කාර්යාංශයේ ස්වරූපය හා ගමේ සංවර්ධනය , යනාදිය එම අංශයන්ය.
ගමේ පිහිටීම හා පසුබිම
උස්ඇල්ල යනු බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ගම්මානයකි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා මහලන්ද ග්‍රාම නිලධාරි වසමට අයත් උස්ඇල්ල නව ගම්මානයකි. මොනරාගල දිස්ත්‍රික්කයට ආසන්නව බදුල්ල දිස්ත්‍රික්කයට මායිම්ව ගම පිහිටා ඇති බැවින් මේ ගමෙහි ගම්මුන් බොහෝ කරදරවලට මුහුණ පාති. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි රජයේ ආයතන මගින්  කර ගැනීමට නියමිත රාජකාරී කටයුතු කර ගැනීමට යාමේ දී මේ තත්ත්වය ඔවුන්ට වඩාත් බලපානු ඇත. එහි දී විශේෂයෙන් ඒ සඳහා ගෙවිය යුතු දුර ප්‍රමාණය මෙන්ම ඒ වෙනුවෙන් වැය වෙන මුදල මෙන්ම ගත වෙන කාලය ද ගොවිතැන ජීවිකාව කර ගත් මොවුන්ට විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. එපමණක් නොව ගමට නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති රැගෙන ඒමේ දි ද ගම්මුන් මුහුණ පාන්නේ බරපතල ගැටලුවකටය. මේ නිසා ප්‍රදේශයේ වේගවත් සංවර්ධනයක් දැක ගත නොහැක. මැතිවරණ සමයට පමණක් මුහුණත් තහඩුව පෙන්වීමට ගමට එන මන්ත්‍රීවරුන් සෑම අයෙක්ම පාහේ වාසි බස් දොඩවන්නෝ වෙති. දිස්ත්‍රික්ක දෙකකට මැදිව ගම මායිම්ව පිහිටා ඇති බැවින් එහි සංවර්ධනය ද දෙපැත්තට තල්ලුවෙමින් පවතී.
       කොළඹ සිට කොළඹ - මොනරාගල බස් යන පාරේ කි.මී. 195ක් තරම් දුර ගෙවා ගිය කල්හි කුඩාඔය නගරය හමු වේ. එහි වම් අත පැත්තට වන්නට ඇති මාර්ගයේ කි.මී. 14 ක් පමණ ගෙවා ගිය කළ තුන් මං හන්දියකුත් සමග ඇති බලහරුව රජමහා විහාරය ඔබට දැක ගන්නට ලැබේ. එයින් දකුණු අත පැත්තට හැරී ටික දුරක් ගමන් කළ විට අලංකාර වෙල්යායකුත් සමග ඇති බස් නැවතුම් පළක් දක්නට ලැබේ. එය ඉදිරියේ ම ඇති මාර්ගයේ කි.මී. 4ක් පමණ  දුර ගෙවා ගිය විට සුන්දර උස් ඇල්ල නම් ගම්මානය හමු වේ. උස් ඇල්ල උතුරෙන් ගංඟාවකිනුත් ( එයට නමක් නොමැත. ඉන් එපිට අලුත්වෙල නම් ගම්මානය පිහිටා ඇත. ) දකුණෙන් අබකොළආරත් (එයින් එගොඩට වෙන්නට බලහරුව නම් ගම්මානය පිහිටා ඇත. ) නැගෙනහිරෙන් කලින් සඳහන් කළ ගංඟාවෙමෙනුත් ( ඉන් එපිට හාමිනා කන්ද දක්නට ලැබේ ) බටහිරෙන් නැවතත් අබකොළආරම මායිම්ව පිහිටා ඇත. ( ඉන් එපිට අබකොළවැව නම් ගම්මානය පිහිටා ඇත.) ඒ අනුව උස් ඇල්ල යනු ජලයෙන් වට වුණ ගම්මානයක් ලෙස හඳුනා ගත හැකිය. එය ගොවිතැන ජීවිකාව කරගත් ගම්මුන්ට මහත් අස්වැසිල්ලකි.
      මෙහි පිහිටීම සඳහන් කිරීමේ දී තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ නැගෙනහිර ගංඟාවෙන් එගොඩට වන්නට පිහිටා ඇති බිම් කොටස්  පරිහරණය කිරීම ද සිදු කරනුයේ උස් ඇල්ල ගම් වාසීන් ම බවයි. ඒ ඔවුන්ගේ වගා කටයතු සඳහාය. එහි කෙළවර හාමිනා කන්ද පිහිටා ඇත. හාමිනා නම් කාන්තාවක මෙහි අතරමං වී ඇති  බැවින් මෙයට හාමිනා කන්ද යන නම ලැබුණ බව ගම්මුන් පවසයි.
        භූගෝලීය වශයෙන් සලකන කළ තැනිතලා භූමි ප්‍රදේශයක් වන උස්ඇල්ල නම් ගම්මානය හේන් ගොවිතැන හා එළවලු වගාව සඳහා වඩාත් යෝග්‍ය වු පසකින් යුක්තය.
ගමේ ඉතිහාසය
   උස් ඇල්ල යනු දීර්ඝ ඉතිහාසයක් සහිත ගමක් නොවේ. එයට ඇත්තේ කෙටි ඉතිහාසයෙකි. 1984 වර්ෂයේ දී පමණ මෙහි ආරම්භය සිදු වෙනවා දැක ගත හැකිය. ඊට පෙර අවධියේ මෙය මහා මූකලානක්ව  පැවත ඇත. මේ ගමට මුල්ම සම්ප්‍රාප්තිය සිදු වෙනුවේ ජී.කේ.බී. විමලසේන මහාතාගේය. ( ඔහු මාගේ මව්ගේ පියාණන්ය ) 1984 වර්ෂයේ උස් ඇල්ල ගමට පැමිණෙන ඔහු කැලෑව කපා කොටා එළි පෙහෙළි කොට සිය හිතවතුන් එහි ගෙන්වා ගනු ලැබ ඇත. පසුව එහි තාවකාලික නිවාස ඉදිකොට නේවාසිකව ගොවිතැන් ( හේන් ගොවිතැන. මුල්කාලයේ මෙහි දක්නට ලැබුණේ හේන් ගොවිතැන පමණි.) කටයුතුවල නිරත වූ ඔවුහු පසුව එම නිවාසම ස්ථීර කොට ජීවත් වන්නට පටන්ගෙන ඇත. ඔහු ගමට පැමිණ වසර තුනකට පසුව මා පියාගේ සහා මව්ගේ පැමිණීම සිදුව වන්නේය. පසුව ක්‍රමක් ක්‍රමයෙන් එක්කෙනා දෙන්නා බැගින් මේ ගමට පැමිණ ඇත. ඒ අනුව 1988 වර්ෂය වන විට මෙසේ ගමේ ජීවත්ව ඇති පවුල් සංඛ්‍යාව 12කි. ඔවුන් විසින් වගා කිරිම සඳහා අල්ලාගනු ලැබු රජයේ ඉඩම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් 1988 දී සිදුව ඇත. එහි දී එක් අයෙකුට අක්කර දෙක හමාරක බිම් කොටසකට බලපත්‍ර හිමි විය.  ඒ අනුව ඒ වන විට බලපත්‍රයක් හිමි වූ පවුල් සංඛ්‍යාව දොළසකි. ඔවුන්ට ජයභූමි ඔප්පුවක් ලබා දෙන්නේ ඉන් වසර හතකට පසුව එනම් 1995 වසරේ දිය. එතෙක් ඔවුහු සිය අයිතිය තහවුරු කිරීම සඳහා භාවිතා කරනු ලැබුවේ ඉඩම් බලපත්‍රයයි. ඒ අනුව මුල් කාලයේ උස් ඇල්ල ගම ගන වනාන්තරයකි. වල් අලි උවඳුරනම් එහි අඩුවක් නොමැතිව පැවත ඇත. අද වන විට එම තත්ත්වය බොහෝ දුරට මග හැරී ගොස් ඇත.
      මේ වන විට නොයෙකුත් ප්‍රදේශයන් නියොජනය කරමින් සැලකිය යුතු තරම් සංඛ්‍යාවක් ගමට පැමිණ ඇත. ගොවිතැත් කටයුතු සඳහා පමණක් පැමිණෙන ඔවුහු පසුව ඒ සඳහා ඇති පහසුව සළකා එහිම පදිංචි වෙති. මේ නිසා වර්මානයේ මෙහි දක්නට ලැබෙන පවුල් සංඛ්‍යාව 68කි. එහි වාසය කරන මුථ සමාජික සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගමට නම පටබැඳුන ආකාරය
   
 උස්ඇල්ල යන නම ගමට යෙදීම පිළිබඳ නොයෙකුත් මත පවතී. ඒ පවතින මත කෙසේ වුව ද ඒ පිළිබඳ වූ නිවැරදි අර්ථකතනය දැක්වීමේ භාග්‍ය මා හට හිමි වේ. එයට හේතුව වනුයේ ගමට නම තැබූ පුද්ගලයා ගමේ පැරැන්නකු වීම හා ඔහු තවමත් ගමේ ජීවත් වන අයෙකු වීමයි. එල්.ඒ. ප්‍රේමරත්න වන ඔහු මාගේ මේ පර්යේෂණය සිදු කිරීමේ දී අපමණ වූ සහයෝගයක් දැක්වීය.
       කරුණු සොයා යෑමේ දී බොහෝමයක් ගම්මුන් පැවසුවේ ගමට නම තැබුවේ ග්‍රාම සංවර්ධන සමිතියෙන් වන බවයි. එහි යම් සත්‍යයක් පවතී. එයට හේතුව වනුයේ ප්‍රේමරත්න මහතා ගමට තැබිය යුතු නම යෝජනා කර ඇත්තේ ප්‍රදේශයේ පවත්වනු ලබන මේ සමිතියේ දි ය. එහෙත් තවත් ගැමියෙක් ප්‍රකාශ කර සිටියේ මුලින් පැවති උස්ඇලි මංකඩ නම් නම වෙනස් කොට එයට උස්ඇල්ල ලෙස නම් තැබූ බවයි. එහෙත් ඔහු ඉදිරිපත් කළ එම තොරතුර නිවැරදි එකක් නොවන බව කරුණු සොයා යාමේ දී අනාවරණය විය. හේතුව ඒ පිළිබඳ දැන සිටියේ ඔහු පමණක් වීමයි. මේ ගම මැදින් ගලා යන විශාල ගංඟාවක් වේ. එය ගලා ගොස් කුඩාඔයටත් එතනින් ලුණුගම්වෙහෙර ජලාශයටත් එතනින් මුහුදටත් එක් වේ. මේ ගඟ ගලා ඒමේ ආරම්භය සිදු වන්නේ දියලුම ඇල්ලෙනි. මේ දියලුම ඇල්ලත්, ගඟත් පාදක කොට ගනිමින් උස් ඇල්ල යන නම යෙදු බව තවත් ගැමියන් කිහිප දෙනෙක් පැවසීය. කරුණු කෙසේ වුව ද තමා ගමට මේ නම යෙදීමට තීරණය කළේ තමන් ගමට නමක් යොදන තුරු ගමට නමක් නොවීමත් යම් යම් රාජකාරීමය කටයුතු කරගැනීමට යාමේ දි එය මහත් ගැටලුවක් බවට පත් වූ නිසත්යැයි ප්‍රේමරත්න මහතා පැවසීය. ඔහුගෙන් දැන ගන්නට ලැබුණු තොරතුරුවලට අනුව උස් ඇල්ල ගම කලින් හඳුන්වා ඇත්තේ අබකොළආර නමිනි. අබකොළආර යනු බලහරුවෙන් උස් ඇල්ල වෙන් කරන සීමාව වේ. එය තරමක් විශාල දිය පහරකි. අදටත් පිට ප්‍රදේශවල ජනතාව උස් ඇල්ල ගම හඳුන ගන්නේ අබකොළආර නමිනි. එහෙත් එය ගම් දෙකක් වෙන් කරන මායිම වන බැවින් ප්‍රේමරත්න මහාතා මෙයට උස් ඇල්ල යන නම යෙදීය. ඔහුට ඒ  සඳහා පාදක වී ඇත්තේ මුලින් සඳහන් කරන ලද ගඟේ සොරොව්ව තරමක් උස් එකක් වීමයි. මේ නිසා එයට උස් ඇල්ල යන නම යෙදු බව ඔහු පවසා සිටියේ ය. එහි සත්‍යාවසත්‍ය බව කෙසේ වෙතත් එය පිළිගත යුත්තේ ගමට නම තැබුවේ ඔහු වීම නිසයි. ඔහු ඒ නම තබා එය රජයේ ලියා පදිංචි කොට ඇත්තේ 1994 වර්ෂයේ ය. එදා සිට අද දක්වා අපි එය උස් ඇල්ල ලෙස හඳුනා ගන්නෙමු.

 ගම ජනාවාස වූ ආකාරය
  ඉහතින් සඳහන් කළ ආකාරයට 1984 වන විට ගමේ පදිංචි සමාජික සංඛ්‍යාව එක් කෙනෙකි. 1987 වර්ෂය වන විට එය තුන් දෙනෙක් වූ අතර 1988 වන විට එය 37ක් දක්වා වැඩි විය. එය පවුල් 12ක තත්ත්වයකි. ඒ අනුව වර්තමානයේ එහි වාසය කරන සමාජික සංඛ්‍යාව 251කි. එයින් 150ක ප්‍රමාණයක් කාන්තාවන් වන අතර පිරිමි සංඛ්‍යාව 101කි. පවුල් වශයෙන් ගත් කළ එය පවුල් 68 ප්‍රමාණයකි. මෙලෙස ක්‍රමක් ක්‍රමයෙන් මේ ගම වෙත ඇදී එන පිරිස වැඩිවීමට බලපෑම් කරන හේතුව වනුයේ ගොවිතැන් කටයුතු සඳහා මෙහි ඇති ස්වභාවික සම්පත්වල වටිනාකමයි. ඒ සඳහා වූ සාරවත් පසක් සේම ඇති තරම් ජලය ලබාගැනීමට හැකවීම මෙහි දී වඩාත් බලපෑම් කොට ඇත. ගොවිතැන් කටයුතු සඳහා ඔවුන්ට වැසි ජලය මෙන්ම ගංඟා ජලයද ඇල,දොල,වැව් ආශ්‍රයෙන් ලැබෙන ජලය ද ප්‍රයෝජනයට ගත හැකිය. මේ තත්ත්වය මත මෙහි පදිංචි වූවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. ගමේ පදිංචි වූ ස්ථීර පවුල් සංඛ්‍යාව 68ක් වුවද තාවකාලික ලෙස පදිංචි වූ විශාල පිරිසක් ද මෙහි වාසය කරති. ගොවිතැන් කටයුතු සඳහා ඉහත සඳහන් කරන ආකාරයේ පහසුකම් ගම තුළ දක්නට තිබුණ ද ඒ සඳහා වන වෙළද පොළ පහසුකම සේම අනෙකුත් භෞතික පහසුකම්වල දක්නට ලැබෙන ඌන සංවර්ධන මට්ටම හේතුවෙන් ඔවුන් එලෙස තාවකාලිකව පදිංචි වී ඇත. අනෙක් අතට ස්ථීර වශයෙන් පදිංචි වීමට ඔවුන්ගේ කැමැත්තක් තිබුණ ද ඒ සඳහා වූ ඉඩම් සොයා ගැනීමට ඇති අපහසුව මෙහි දී බලපෑම් කොට ඇත. එයට හේතුව වනුයේ මෙහි මුලින් පදිංචි වූවන් අක්කර පහක හයක තරම් ප්‍රමාණයක් අල්ලාගෙන සිටීමයි. මෙලෙස ගොවිතැන් කටයුතු සඳහා අලුතෙන් ගමට පැමිණෙන්නන් බොහෝ විට මුල් පදිංචි කරුවන්ගේ නෑදැයෙක් හෝ හිතවතෙක් වන බැවින් ඔවුන්ට වගාකර ගැනීම සඳහා මුල් පදිංචි කරුවන්ගේ ඉඩම් වලින් කොටසක් හිමි වේ. එලෙස ටික කලක් ගොවිතැන් කටයුතු කරමින් සිටින ඔවුන් පසුව සිය නෑදෑයින්ගේ කැමැත්ත මත එහි ස්ථීර වශයෙන්ම පදිංචි වෙති. ගම ජනාවාස වීමට පටන් ගත්නේ මේ ආකාරයෙනි. අදටත් සිදුවෙමින් පවතින්නේ එයයි.

ඉඩකඩම් බෙදී ගොස් ඇති ආකාරය
               මෙලෙස ජනාවාස වූ ගමේ ඉඩකඩම් බෙදී ගොස් ඇත්තේ හරි අපූර්ව ආකාරයෙනි. සමාන්‍යයෙන් උස්ඇල්ල ගමේ අක්කර 600ක් තරම් ප්‍රමාණයක් පවතින අතර එයින් වගා කරන ප්‍රමාණය දළ වශයෙන් අක්කර 400කි. ගමේ උතුරු කෙළවරට වෙන්නට පිහිටි ඉඩම්වල විමලසේන මහතා හා  ඔහුගේ නෑ පරපුර පදිංචි වී ඇති අතර ගම මධ්‍යයට වන්නට දාසනම් අයෙකුගේ නෑදෑ පරපුර ද ගමේ දකුණු කෙලවරට වන්නට නිළමේනම් තැනැත්තෙකුගේ නෑදෑ පරපුර හා සෙවනගල මාමාලෙස හඳුන්වන තැනැත්තෙකුගේ නෑදෑ පරපුර පදිංචි වී සිටී. ගමේ බටහිර ප්‍රදේශයට වන්නට ප්‍රේමරත්නමහතා හා ඔහුගේ නෑ පරපුර වාසය කරති. මේ පදිංචි වීම හුදෙක් ගමට පැමිණි පිළිවෙලට අනුව සිදුවූවා මිස වෙනත් විශේෂ වූ වරප්‍රසාදයක් නිසා සිදු වූවක් නොවේ. මීට අමතරව ගමේ අතරින් පතර පරම්පරා වශයෙන් ගත නොහැකි හුදකලාව වාසය කරන පවුල් කිහිපයක් ද දැකිය හැකිය. එහෙත් කලාතුරකින් එවැනි පවුලක් ඇරෙන්නට ගමේ සෑම අයෙක්ම පාහේ මොනම විදියකින් හරි නෑදෑයෙක්වෙන තත්ත්වයට පත්ව ඇත. ඒ අනුව මුථ උස්ඇල්ල ගමම නෑදෑ පරපුරක් වාසය කරන ගමක් ලෙස හඳුනාගත හැකිය. සමීප වශයෙන් නොවුන ද දුරස්ථ වශයෙන් හෝ මේ සෑම අයෙක්ම නෑදෑයෝ වෙති. එහෙයෙින් කුලය නම් සංකල්පය දැඩිව බලපෑමක් මේ ගම තුළ දක්නට නොලැබේ. මේ ගමේ සමහර අයෙකුට අක්කර පහක හයක ප්‍රමාණයක් ලැබෙන පරිදි ද සමහර අයෙකුට අක්කරයක් දෙකක් හිමි වෙන ලෙස ද ඉඩකඩම් බෙදී ගොස් ඇත. ඒ අනුව ඉඩකඩම් බෙදී ගොස් ඇත්තේ සමාන ආකාරයෙන් නොවන බව සඳහන් කළ හැකිය. තමන්ට ලැබෙන ඉඩම් ප්‍රමාණය තීරණය කරන්නේ තමන් ගමට පැමිණෙන පිළිවෙලට අනුවය. කෙසේ වෙතත් අවම වශයෙන් අක්කරයක්වත් ලැබෙන පරිදි මෙහි දැනට පදිංචි වූවන් අතර ඉඩම්කඩම් බෙදී ගොස් ඇති බව සඳහන් කළ යුතුය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් වනුයේ මේ ගමේ ඉඩම් බෙදී ගොස් ඇත්තේ ගම් ගොඩැලි ආකාරයට නොවන බවයි. උස්ඇල්ල යනු තනි ගම්මානයකි. එහි ගම් ගොඩැලි දැකගත නොහැක.

ගමේ පාලනය
දැනට නම් උස්ඇල්ල ගම පාලනය කරන එසේ විශේෂ වූ අයෙක් දැකගත නොහැක. ඒත් 1996 ට ප්‍රථම එහි පාලනය සිදුකරන ලද්දේ විමලසේන මහාතා විසිනි. එයට හේතුව ලෙස මා දකින්නේ ඔහු එම ගමේ පදිංචි මුල් පදිංචිකරුවා වීමයි. ඒත් 1996 ඔහු ඝාතනය කිරීමත් සමග ගම පාලනය කරන නායකත්වයක් බිහි නොවුණි. නමුත් වර්තමානයේ ගමට අවශ්‍ය දෑ සොයා බලමින් විවිධ නිළධාරීන් හා සම්බන්ධතා පවත්වමින් ගමට යම් ආකාරයක සේවාවක් සිදුකරනුයේ ප්‍රේමරත්න මහාතා විසිනි. ඔහු ගම පාලනය නොකරෙවු ද ගම වෙනුවෙන් යමක් කරමින් සිටී.

ආගම
    මෙම ප්‍රදේශයේ ජීවත්වන සියලුම ජනතාව බෞද්ධාගමිකයෝ වෙති. අන්‍ය ආගමක් අදහන්නවුන් මේ ගමේ දක්නට නොලැබුණත් අන්‍ය විශ්වාසයකින් පෙළෙන්නවුන් නම් මෙහි සුලභ වෙති. අන්‍ය විශ්වාසයකින් පෙළෙන්නවුන් වුව ද ඔවුහු  බුදුන් වහන්සේ දැඩිව විශ්වාස කරති. බුදුන් වහන්සේ දැඩිව විශ්වාස කරන මේ ගමේ පන්සලක් ඇරෙන්නට දෙවියන් වෙනුවෙන් ඉදි වූ දේවාල හෝ දෙවොල් මඩු දැකගත නොහැක. එහෙත් ඔවුන් කතරගම දෙවියන් , පත්තිනි මෑණියන් යන දෙවිවරු විශ්වාස කරති. ගමට පන්සලක් තිබුණ ද එය එතරම් විශාල වූවක් නොව බෝධියක්, පිළිම ගෙයක් හා මැටියෙන් තනන ලද ආවාස ගෙයකින් ද යුක්ත වූවකි. මෙහි මෑතක් වන තුරුම හාමුදුරුවන් කෙනෙකු වැඩ නොසිටිය අතර ගම්මුන් පන්සල සඳහා ගියේ බලහරුව රජමහා විහාරයටයි. ගිය අවුරුද්දේ මුල්කාලයේ ( 2010 ) ගමේ පන්සලට හාමුදුරුවන් වහන්සේ නමකගේ පැමිණීමත් සමගම උන්වහන්සේ වෙනුවෙන් පන්සලේ ධර්ම ශාලාවක් ඉදිවිය. එය බිත්ති නොබඳින ලද උථ සෙවිලි කළ ශාලාවකි. දැනට එහි එක් හාමුදුරුවන් නමක් වැඩ වෙසෙති. එහෙත් අදටත් ගමේ ජනතාව තමන් ගිය මුල් පන්සල අමතක කොට නොමැත. සෑම වසරකම වෙසක් පුන් පෝය දාට ගමේ පුංචි පන්සලේ සිට බලහරුව රජමහා විහාරයට පෙරහැරක් ගමන් කරයි. එය වඩාත් අසිරිමත් වූවකි. ගමේ ජනතාවගේ සමගිය මෙන්ම බුදු හිමියන් ගැන ඔවුන්ගේ සිතෙහි පවත්නා ගෞරවනීය හැගීම මෙයින් මනාව ස්මතුව පෙනේ. ගමේ සෑම නිවසකම පාහේ බුදුන් වහන්සේ වෙනුවෙන් ඉදිකර ඇති කුඩා බුදු මැදුරක් ඇති අතර කලාතුරකින් ගෙදරක ඇරෙන්නට එහි කතරගම, ගන, පත්තිනි යන දෙවිවරුන්ගේ පින්තූරයක් හැර අන්‍ය දෙවි කෙනෙකුගේ පින්තූරයක් දක්නට නොලැබේ. සෑම අයෙකුම පාහේ බුදුන්වහන්සේට දක්වන්නා වූ ගෞරවයට සමාන ගෞරවයක් සීවලී මහා තෙරුන්වහන්සේ කෙරෙහි ද දක්වති. එබැවින් උන්වහන්සේගේ පින්තූරයක් ද සෑම ගෙදරකම පාහේ දක්නට ලැබේ. උන්වහන්සේට වන්දනාමාන කිරීමෙන් ආහාර නොවරදින බවට ගම්මුන් අතර විශ්වාසයක් පවතී.

ප්‍රාථමික ඇඳහිලි හා විශ්වාස

ඇඳහිලි
කතරගම දෙවියන් ඇදහීම
      ප්‍රාථමික වශයෙන් පවත්නා ඇඳහිලි හා විශ්වාස ගමෙහි සුලභව දක්නට ලැබෙන තරම්ය. කතරගම දෙවියන්ගේ අඩවියට යටත්ව පිහිටන ගමක් වන බැවින් කතරගම් කාලයට කතරගම යෑම මෙන්ම විවිධ කටයුතු සඳහා කතරගම දෙවියන්ට භාරහාර වීම ගම්මුන් විසින් සිදු කරනු ලැබේ. අලුතින් ගමට වහානයක් ගෙනා කළ ඔවුන් පළමු කොටම යන්නේ කතරගම බලාය. එහි දී පූජා වට්ටියක් පූජා කරමින් තමන් අලුතෙන් ගෙනා වහානයත් තමන්ගේ ජීවිතයත් ඔවුහු කතරගම දෙවියන්ට භාර කරති.

දේව දානය
   දෙවියන් වෙනුවෙන් දෙනු ලබන දානයන් ද මේ ගමේ දක්නට ලැබේ. විශේෂයෙන් අස්වනු නෙළා ගෙට ගත් පසු තමන්ගේ ගොවිතැන් කටයුතු ආරක්‍ෂා කර දීම පිළිබඳ ඔවුන් දෙවියන්ට ස්තුතිවන්ත වන්නේ මේ ආකාරයටය. මෙහිදි කතරගම දෙවියන් ප්‍රධානත්වයක් උසුලයි. ඒ අනුව ගමේ සියලු දෙනාම පාහේ එකට එකතු වී මේ දානය පිළියෙල කරති. මෙහි දී කාන්තාවන්ගේ දායකත්වය ලබා නොගන්නා අතර පිරිමි පාර්ශවය පමණක් දානය පිළියෙල කරති. ඒ සඳහා නොයෙක් රස ජාතී එක්කරති. හාල්, පොල් කිරි, පොල් කෑලී,  සීනී, රට කජු ඇට, ලුණු ස්වල්පයක්, යනාදිය එක් කොට ගන්නා මෙය පැණි බතක් ලෙස සකසා ගනී. දානය අනෙක් අයට දැනුම් දීම සඳහා අයෙක් මහා හයියෙන් එක පිට හූ තුනක් තබයි. තුන් වැනි හූවෙන් දේව දානයක් ළඟ පාතක පවතින බවත් ඒ සඳහා තමාට ආරාධනා කරන බවත් ගම්මුන් දැන ගනී. පසුව ඒ සඳහා සහාභාගී වන ඔවුන්ට ඇති පමණට ගෙන යන්න දානය ලැබේ. මේ සමගම රස කැවිලි ජාතියක් හා කෙසෙල් ගෙඩි කිහිපයක් ද දෙනු ලැබේ. මෙහි ප්‍රධානතම පරමාර්ථය වන්නේ තමන් දුක් මහන්සියෙන් හම්බ කරපු අස්වැන්නේ අග්‍ර කොටස දෙවියන්ට පූජා කිරීමයි.

     බෝධි පූජා පැවැත්වීම
        බෝධින් වහන්සේ විශ්වාස කිරීමත් උන්වහන්සේ උදෙසා බෝධි පූජා ආදිය පැවැත්වීමත් මේ ගම් වාසීන් විසින් සිදු කරන ලද බව දක්නට ලැබේ. බෝධි පූජා පවත්වා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාරහාර වීමත්, ලෙඩක් දුකක් කරදරයක් තමන්ට හෝ පවුලේ කෙනෙකුට සිදුව ඇත්නම්  එයින් ආරක්‍ෂා කර දෙන ලෙසත් ඉල්ලා ඔවුහු බෝධි පූජා පවත්වති. එමෙන්ම ග්‍රහයන්ගෙන් වන අපල උපද්‍රව මගහරවා ගැනීමටත්, නඩු හබ ජය ගැනීමටත්, රැකී රක්‍ෂා ලැබීමටත්, දරු ඵල ලැබීමටත්, විවාහා අපෙක්‍ෂාවන් සඵල කර ගැනීමටත්, ඇස්වහා කටවහා දෝෂ වලින් ආරක්‍ෂා වීමටත් ගොවිතැන් බත් කටයුතු දියුණු වීමටත්, භව භෝග සම්පත් ලැබීමටත්, නිරෝගී සැපත ලැබීමටත් ඔවුහු බෝධි පූජා පවත්වති.

       කිරි අම්මාවරු දානය
   ප්‍රාථමික වශයෙන් පවත්නා තවත් ඇඳහිල්ලක් වශයෙන් කිරි අම්මාවරුන්ගේ දානය ද ගම්මුන් විසින් පවත්වනු ලබන්නෙකි. කිරි අම්මාවරුන්ගේ දානයෙන් ඔවුන් පත්තනි මෑනියන් විශ්වාස කරන අතර කුඩා ළමයින් වෙනුවෙන් හා ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් භාරහාර වීම මෙහි දි විශේෂයෙන් සිදු කරනු ලැබේ. ඊට අමතරව දරුවන්ට අකුරු කියවීමට පෙරාතුවත්, ඉඳුල් කට ගෑමට පෙරාතුවත්, ගෙට ගෙවදීමට පෙරාතුවත් මෙන්ම ගොවිතැන් කටයුතු සාර්ථක වූ පසුවත් මෙසේ කිරි අම්මා දාන පවත්වති.
    මේ සඳහා කිරි අම්මාවරු හත් දෙනෙකුට හෝ දාහතර දෙනෙකුට ආරාධනා කෙරෙති. ඒ සඳහා ඊට කලින් දිනයේ දී බුලත් ලබා දීම සිදු කෙරේ. කිරි අම්මාවරුන් ලෙස මොවුන් තෝරා ගනු ලබන්නේ තලතුනා වයසේ සිටින ගෑනු උදවියයි. මේ කිරි අම්මාවරුන්ගෙත් නායක කිරි අම්මා කෙනෙක් සිටින අතර දානයේ සියලු වැඩ කටයුතු සිදුවන්නේ ඇගේ උපදෙස් මතයි. ඒ අනුව එළිය වැටෙන්නටත් කළින්ම වඩින කිරි අම්මාවරු සියලු වැඩ කටයුතු නිම කොට එළිය වැටෙන්නට කළියෙන්ම නික්ම යයි. දානය සඳහා කැවිලි වර්ග හතක් සකස් කරන අතර ඒවා එක් වර්ගයකින් හත බැගින් එක කිරි අම්මා කෙනෙකුට ලැබෙන පරිදි කිරි අම්මාවරු හත්දෙනා අතරේ බෙදා දේ. මීට අමතරව පළතුරුද හත් වර්ගයක් ගන්නා අතර එය පළමු කොට පත්තිනි මෑණියන්ට පූජාකොට පසුව කිරි අම්මාවරුන්හට බෙදා දේ. එහිදී අඹ හා අන්නාසි අනිවාර්ය පළතුරක් වේ.

විශ්වාස
ප්‍රාථමික වශයෙන් පවත්නා විශ්වාස රැසක් මේ ගම තුළ දක්නට ලැබේ. ඒවා ගොවිතැන් කටයුතු, ගමන් බිමන් , කාන්තාව , හා එදිනෙදා ජීවිතය හා සම්බන්ධ විශ්වාස ලෙස වර්ග කිරීමකට ලක් කළ හැකිය.

ගොවිතැන් කටයුතු
 ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් වන විශ්වාස ගැන සඳහන් කිරීමේ දී වගා බිම එළිපෙහෙළි කිරීමේ සිට අස්වනු නෙළා ගෙට ගන්නා මොහොත වන තෙක් කරන සෑම කාර්යයක් සම්බන්ධයෙන්ම ඔවුහු සුභ වෙලාවක් බලන අතර රාහු කාලය පන්නා සුභ දිසාවක් බලා වැඩ කිරීම සිදු කරනු  ලබයි.  එමෙන්ම ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් ඇස්වහා කටවහා දෝෂ පිළිබඳ තදබල විශ්වාසයක් ගැමියන් අතර පවතී. එබැවින් ඇතැම් පුද්ගලයින් තමන්ගේ වගා බිමට පැමිණීම පිළිබඳව ඔවුහු දැඩි අකමැත්තක් ද පළ කරයි. භෝග සිටුවීමේ දී ඇතැම් භෝග කතා නොකර සිටුවීම වගේම ඇතැම් භෝග රාත්‍රී කාලයේ සිටුවීම දක්නට ලැබෙන සුවිශේෂි ලක්‍ෂණයකි. මෙමගින් වල් ඌරන්, මීයන් වැනි සත්වයන්ගෙන් වන හානී වලකා ගත හැකි බව මෙන්ම එමගින් වැඩි අස්වනු ප්‍රමාණයක් නෙළා ගත හැකිවෙනු ඇතැයි යන විශ්වාසයද ගම්මුන් අතර පවතී.

ගමන් බිමන්
හූනෙකුගේ කෑ ගැසීම, බල්ලෙකුගේ උඩු බිරලීම මෙන්ම කන්පට ගැසීම යනාදී අවස්ථා තුළ නිවසෙන් බැහැර ගමනක යෙදීම අසුභ බවට ගම්මුන් අතර විශ්වාසයක් පවතී. එවැනි අවස්ථාවක සිය ගමන මඳක් ප්‍රමාද කිරීමට ඔවුහු පෙළඹෙති. එමෙන්ම හිස් කළ හෝ භාජන සහිත පුද්ගලයන් මෙන්ම චීවරධාරි උතුමන් යන ගමන් මග ඉදිරියට පළමුවෙන්ම මුණ ගැසුණහොත් තමන් යන ගමන සාර්ථක නොවන බවට ද ඔවුහු විශ්වාස කරති. පිරුණු කළ, දියනා ගත් ලඳුන්, සුදු නෙථම් මල් සුභ ලකුණු ලෙස ඔවුහු දකිති. එමෙන්ම නිවසේ කිසිවෙක්  බැහැරට ගිය කළ එදින නිවසේ කුණු ඉවත දැමීම නොකළ යුතු කාරණයක් ලෙස ද ඔවුහු සලකති. එමෙන්ම තමන් ගමනක් යෑමට පිටත් වී යමක් අමතකව නැවත පැමිණීමට සිදු  වුණි නම් ඔවුහු එම ගමන යෑමට තරමක් මැලිකමක් දක්වයි. මන්ද එය සිය ගමනට සිදු වූ බාධාවක් ලෙසයි ඔවුන් දකින්නේ. එබැවින් ගමනක් යෑමට පිටත් වී නැවත පැමිණීම ඔවුන් විසින් සිදු නොකරනු ලබයි.

කාන්තාව
කාන්තාව සම්බන්ධයෙන් සලකන කල ඇය කිල්ලක් ලෙස ගම්මුන් සලකති. විශේෂයෙන් දේව දානය වැනි අවස්ථාවලට ඇගේ දායකත්වය ලබා නොගනි. එමෙන්ම කාන්තාවන්ගේ යට ඇඳුම් පේන්න වැනීම මෙන්ම සවස හයෙන් පසු ඒවා එළිපහළියේ තැබීම නුසුදුසු ලෙස සැලකේ. මන්ද එමගින් විවිධ අණවින කොඩිවින කළ හැකි බවට ගම්මුන් අතර විශ්වාසයක් පවතින හෙයිනි. විශේෂයෙන් කාන්තාවන්ගේ ඇඳුම්වල ඇති නූල් රැගෙන ගොස් වශී ගුරුකම් ආදිය කළහැකි බවත් ඔවුන් පිළිගනී. මේ නිසා කාන්තා හිස කෙස් , නියපොතු , මුත්‍රා ආදිය කෙළ ගසා බැහැර කළ යුතු බවට වැඩිහිටියන්ගෙන් ඔවුන්ට උපදෙස් ලැබේ. සවස ගමන් බිමන් කාන්තාවන්ට අකැපය. විශේෂයෙන් ගොම්මන් වෙලාවට කාන්තාවන් පරිස්සම් විය යුතුය. එම වෙලාවට සැරිසරන නොයෙකුත් අවතාර , පිල්ලි යනාදිය කාන්තාවන්ට ආරූඩ විය හැකිය. විශේෂයෙන් කථකුමාර දිෂ්ටිය කාන්තාව ඩැහැගැනීමට බලාසිටී. නාන තොටුපලවල්වල අවේලාවේ තනියම නෑම ද කාන්තාවන් නොකළ යුතු කාරණයක් ලෙස පිළිගැනේ. මන්ද එය කාන්තා ආරක්‍ෂාවට තර්ජනයකි. විවිධ පෙරේත දිෂ්ටි එම වෙලාවල්වලට ඒ අවට සැරිසරති. මෙලෙස කාන්තාව සම්බන්ධ වූ විශ්වාස රැසක් මේ ගමේ වැසියා අතර දක්නට ලැබේ.

එදිනෙදා ජීවිතය
එදිනෙදා ජීවිතය හා සම්බන්ධ විශ්වාස රැසක් ද මේ ගමේ වැසියා අතර පවති. බල්ලෙකුගේ උඩු බිරලීම, පූසන් දෙන්නෙකුගේ පොරය, උළෙමෙකුගේ කෑ ගැසීම යනාදිය මළගෙයක් ආරංචි වීමට ලකුණු ලෙස ඔවුහු දකිති. ගැරඩි දෙදෙනෙක් පොර බැඳීම ද අසුභ ලකුණක් ලෙස සැලකේ. අලි හක්කක් දොරකඩ වල දැමීම, ලුණු පොල් කට්ටේ ලුණු මිදීම සුභඵල ගෙන දෙන බවට ඔවුහු විශ්වාස කරති. යම් හෙයකින් ලුණු පොල්කට්ටේ ලුණු කැඩුණහොත් මුදල් වියදම් වෙන කාරණයක් යෙදෙන බවට ඔවුහු ඉඟියෙන් මෙන් දැනගනිති.

සංවර්ධනය
ආර්ථික සංවර්ධනය
      ආර්ථික වශයෙන් සලකන කළ මුල් කාලයේ මේ ගමේ සෑම අයෙක්ම පාහේ නිරත වූයේ හේන් ගොවිතැනේය. කාලයක් ගත වෙත්ම ඔවුන් ක්‍රමයෙන් එළවලු වගාවට යොමුවිය. වර්තමානය වන විට ඔවුන් කුඹුරු ගොවිතැනේ ද නිරත වේ. මේ ගමේ කිසිවෙකුටත් කුඹුරු ඉඩම් නොමැති අතර ඔවුන් කුඹුරු සඳහා යොදාගෙන ඇත්තේ ගොඩ ඉඩම්මය. දැනකට වසර පහකට ප්‍රථම මේ ගම හරහා දිවෙන ගංඟාව හරස්කොට බලහරුව වැවට ජලය ගෙන යෑම සඳහා ඉදිකරනු ලැබූ ඇල මාර්ගය ඔවුහු මේ සඳහා ප්‍රයෝජනයට ගනිති. ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් මේ ගමේ ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ වෙළඳ පොළ පහසුව පිළිබඳ ඇති ගැටලුවයි. තමන් වගා කරගත් අස්වනු රැගෙන ඔවුන්ට සැතපුම් තුන හමාරක තරම් දුර ප්‍රමාණයක් යෑමට ඇති අතර ඒ ගිය ද අපෙක්‍ෂා කරන මිලට ඒවා ලබා දීමට නොහැකි වේ. ආර්ථික වශයෙන් මොවුන් බොහෝ දෙනෙක් ස්වයං පෝෂිත මට්ටමක සිටී. තමන්ට අවශ්‍ය හාල්, පොල්, එළවලු වැනි දෑ ඔවුන් විසින් ගම තුළම වගා කරගනිමින් බුක්ති විදීමක් දක්නට ලැබේ.
යටිතල පහසුකම් සංවර්ධනය
යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් මේ ගමේ තත්ත්වය බොහෝ කණගාටුදායකය. දිස්ත්‍රික්ක දෙකකට අතරමැදිව බදුල්ල දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති බැවින් මේ ගමේ සංවර්ධනය පවතින්නේ බොහෝ සෙයින්ම ඌණ මට්ටමකයි. තවමත් මේ ගමට විදුලිය ලැබී නොමැත. ගම්මුන් බොහෝ දෙනෙක් විදුලිය සඳහා භාවිත කරන්නේ සූර්ය කෝෂයයි. සන්නිවේදන පහසුකම ද මේ ගමේ ඉතාමත් දුර්වල මට්ටමක පවතී. තාක්‍ෂණය මේ තරම් දියුණු මට්ටමක පැවතියත් තවමත් ජංගම දුරකථනයක්වත් දක්නට නොලැබෙන පවුල් මේ ගමේ වාසය කරති. ලිපි ලැබීම ද මේ ගමේ දුර්වල මට්ටමක පවතී. ගමේ සෑම අයෙකුටම පාහේ ලැබෙන ලියුම් අල්ලපු ගම වන බලහරුව කඩේකට ලැබෙන අතර ගම්මුන් එම ලිපිය රැගෙන ඒම සඳහා සැතපුම් ගණන් දුර ගෙවා යා යුතුය. තැපැල් කන්තෝරුවක් මේ ගමට නොමැත. මාර්ග සංවර්ධනය මෙන්ම ප්‍රවාහන පහසුකම ද ඉතාමත් කණගාටුදායකය. වර්ෂා කාලෙට කිසිසේත්ම මේ මාර්ගවල ගමන් කළ නොහැකිය. මාර්ගයේ සෑම තැනකම පාහේ වලවල් සැකසී ඇත. පාසල් යන වයසේ දරුවන්ට පාසල් යෑම සඳහා පාසලක්ද මේ ගමට නොමැත. ඔවුන් පාසල සඳහා යන්නේ බලහරුවටය. ඒ සඳහා සැතපුම් ගණන් බයිසිකලයකින් හෝ පා ගමනින් ම ඔවුහු ගමන් කරති. පෝයක් දවසකට හෝ වැඳ පුදා ගැනීමට පන්සලක් මේ ගමේ ගම් වැසියන්ට මීට වසරකට ප්‍රථම නොතිබුණු අතර එහෙත් අද වනවිට ඒ තත්ත්වය මග හැරී ගොස් ඇත. ඒ සඳහා මැටියෙන් ඉදිකරන ලද කුඩා පන්සලක් මෙන්ම එක් හාමුදුරුවෝ නමක් ඔවුන්ට සිටී. එමෙන්ම හදිසියකට බෙහෙත් ටිකක් ගැනීමට ෆාමසියක්වත් අහළ පහළක හෝ නොතිබුණ අතර උස්ඇල්ල ගම් වාසීන් මෙන්ම බලහරුව ගම්වාසීන් ද ඒ සඳහා ගියේ තණමල්විල හෝ වැල්ලවාය රෝහලටයි. එහෙත් මේ මෑතක දී බලහරුව ප්‍රදේශයේ ෆාමසියක් විවෘත කිරීමත් සමග ගම්මුන්ගේ එම ගැටලුවත් විසඳුනි. එහෙත් ඒ සඳහා දැරීමට වන මුදල් පිළිබඳ ගැටලුව නිසා ඔවුන් අදටත් රෝහලටම ගමන් කරනු ලබයි.

අසල්වාසී ගම් සමග පවත්වන සම්බන්ධතාවය
 මේ පිළිබඳ සඳහන් කිරීමේ දී උස්ඇල්ල ගම වැඩිපුරම සම්බන්ධ දා පවත්වනුයේ බලහරුව ගම සමගයි. උස්ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයට අයිති ගමක් වන බැවින් මෙහි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ හල්දුම්මුල්ලේය. සමෘද්ධි කාර්යාලය නාකැටියට අයත් වේ. එහෙත් එය විශාල දුර ප්‍රමාණයක් වන බැවින් එයට ගතවෙන කාලය මෙන්ම මුදල පිළිබඳව සඳහන් කොට ගම්මුන් එය බලහරුව ප්‍රදේශයට මාරුකරගෙන ඇත. මේ හේතුවෙන් මුද්දරයේ බඩුටික රැගෙන ඒමට පවා ඔවුන් ගමන් කරන්නේ බලහරුව ප්‍රදේශයටයි. එපමණක් නොව ඉහතින් සඳහන් කරන ලද සෑම කාර්යයකටම පාහේ උස්ඇල්ල ගම්වාසීන්ට බලහරුව අත්‍යවශ්‍යය. වෙළඳ පොළට, තැපැල් කන්තෝරුවට, පාසලට, පන්සලට, මෙන්ම හදිසියකට බෙහෙත් ටිකක් ගැනීමට ෆාමසියට ආදී වූ දහසකුත් කාරණා සඳහා උස්ඇල්ල ගම් වාසීන් පැමිණෙන්නේ බලහරුවටයි. එහෙත් බලහරුව යනු මොනරාගල දිස්ත්‍රික්කයට අයිති ගමකි. ග්‍රාම නිළධාරීතුමා මුණ ගැසීමට මෙන්ම ජන්දය පාවිච්චි කිරීමට ඔවුන් ගමන් කරනුයේ අලුත්වෙල ගම්මානයටයි. පාරට තොටට පැමිණීම සඳහා උස්ඇල්ල ගම් වාසීන් බලහරුවට පැමිණිය යුතුය. නොඑසේනම් අලුත්වෙලට පැමිණිය යුතය. බස්රථ ගමන් කරන්නේ ඒ ගම් දෙක හරහා පමණි. උස්ඇල්ල යනු මේ ගම් දෙකට මැදිව පිහිටන ගම්මානයකි. ඒ අනුව ඉහත සඳහන් කරන ලද හේතු කාරණාවලට අනුව උස්ඇල්ල ගම බලහරුව හා අලුත්වෙල යන ගම්මානයන් සමග බොහෝම මිත්‍රශීලී සම්බන්ධතාවයක් පවත්වන බව පැවසිය යුතුය.

පරමාදර්ශී ගම අදටත් එලෙසම පවතී ද?
        ඉහත කරුණුවලට අනුව පරමාදර්ශී ගම අදටත් එලෙසම පවතී ද යන්න සොයා බැලිය යුතුය. එහිදී කිව යුත්ත වන්නේ පරමාදර්ශය යනු ස්වාභාවයෙන්ම නැත යන අර්ථය වන බවයි. පරමාදර්ශය යනු සිතේ මැවෙන ස්වාභාවයයි. ඒ අනුව පැරණි සමාජයේ කතා බහට ලක්වුණ ගම අදටත් එලෙසම හඳුනා ගත නොහැක. අතීත ගම තුළ මනා සංහැදියාවක් පැවතුනි. අසල්වාසීන් සමඟ ඔවුන් බොහෝම මිත්‍රශීලීව කටයුතු කරනු ලැබීය. තමන්ට අවශ්‍ය දෑ ගම තුළම නිෂ්පාදනය කරගත් ඔවුහු ණය බරින් තොරව බොහෝම සතුටින් කාලය ගත කළේය. වෙහෙස මහන්සි වී වැඩ කරන ඔවුන් සවස් කාලය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට මෙන්ම ඔවුන් සමග කතාබහා කිරීමට යොදා ගනු ලැබීය. දෙමාපියන් හා දරුවන් අතර උතුම් බැදීමක් අතීත සමාජය තුළ පැවතුනි. තාක්‍ෂණය නොදියුණු එකල සමාජයේ ඔවුන් ගමන් බිමන් ගියේ ගවයාගේ හෝ බූරුවාගේ පිට උඩිනි. එබැවින් ඔවුන් ගවයා සලකන ලද්දේ දේවත්වයනි. එමෙන්ම පණිවිඩ යැවීම ද බොහෝ ප්‍රාථමික මට්ටමක පැවතුනි. වෛද්‍ය විද්‍යාව නොදියුණු එකල සමාජයේ පාරම්පරික වෙදකම දත් වෙද මහතෙකු ලවා තමන්ට වැළදී ඇති රෝගය සුව කරගැනීමට ඔවුන් පෙළඹිනි. කුල ක්‍රමයට අනුව බෙදී ගිය ගමේ පදිංචිය එක්තරා ප්‍රභූ නායකයකු විසින් පාලනය කරනු ලැබීය. එම නායකයා කුලයෙන් බොහෝම උසස් වූවකු වූ අතර ගමේ අන්‍යයන්ට වඩා යමක් කමක් තියෙන්නෙක් ද විය.
                          එහෙත් වර්තමාන සමාජයේ පවතින ගමක මේ තත්ත්වය ඒ ආකාරයෙන්ම දැකිය හැකිද? කිසිසේත් නොහැකිය. අතීත ගම තුළ පැවති මනා සංහැඳියාව අද දක්නට නොලැබේ. එකෙක් හැදෙනවට තවකෙක් ඉරිසියා කරන සමාජ ක්‍රමයක් අද බිහි වී ඇත. ඉඩකඩම්වලට තණ්හාවේ සහෝදර සහෝදරියන් පවා ඇණ කොටා ගන්නා තත්ත්වයක් වර්තමානයේ ගොඩනැගී ඇත.

                          වෙරථ ගෙඩිය හරි හතකට කපාගෙන
                          කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
                          උන් අපි එදා සත්කුථපව් විලාසින
                          පැල ඉනි වැටට ඇයි අද ඇණ කොටාගෙන
සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීතයෙන් වුව ද ප්‍රකාශ වන්නේ අතීත සමාජය තුළ පැවති ඒ සමගිය එකමුතුකම අද සමාජයෙන් ගිලිහි ඇති බවයි. එමෙන්ම අතීත ගම තුළ දක්නට ලැබුණ ස්වයං පෝෂිත ආර්ථික තත්ත්වය ද අද ගමකින් ඒ ආකාරයෙන්ම අපෙක්‍ෂා කළ නොහැක. උස්ඇල්ල ගමේ එය යම් මට්ටමකින් දක්නට ලැබුණි ද එය සතුටු විය හැකි ආකාරයේ තත්ත්වයක් නොවේ. කුඹුරු ගොවිතැන් කටයුතුවලට මෙන්ම ප්‍රවාහනය සඳහා යොදා ගත් ගවයා දේවත්වයෙන් පිදීමක් අතීත මිනිසා සිදු කළ ද වර්තමාන මිනිසා ඌගේ මස් කෑමට දක්වන්නේ මහත් ගිජු කමකි. මේ තත්ත්වය මත දිනපතා විසිහතර පැයේම බණ කියන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණත් දිනකට ඝාතනයට ලක්වන ගවයන්ගේ ප්‍රමාණයේනම් අඩුවක් දක්නට නොලැබේ. ගවයින් බැඳි කරත්ත, තිරික්කල අද දක්නට නොලැබෙන තරම්ය. එහෙත් කලාතුරකින් උස්ඇල්ල ගමේ නම් තවමත් කරත්තයක්, තිරික්කලයක් දක්නට ලැබේ. දිනෙන් දින උග්‍රවන ජීවන වියදම හමුවේ ජීවත් වීම සඳහා කුමන හෝ වෘත්තියක නියලීමට මිනිසුන් පෙළඹී ඇත. මේ නිසා කෝට්ටේ යුගයේ දක්නට ලැබුණ වෙසඟනන්ට වඩා සිය දහස් ගුණයකින් වැඩි වූ වෙසඟනන් අද දක්නට ලැබේ. ඔවුන් අතීත වෙසඟනන් මෙන් කොකුමඟර ඇග තවරාගෙන නොමැත. ආර්ථිකමය පරිහානිය මෙයට හේතුවක් වන්ට ඇත. ආර්ථික ප්‍රශ්නත් සමග අරගලයක යෙදෙන දෙමාපියන්ට දරුවන් ගැන සොයාබැලීමට මෙන්ම ඔවුන් සමඟ කතාබහා කිරීමට කාලය සොයාගත නොහැක. මේ නිසා දරුවන් නොමඟට යොමුවන අතර ඔවුන් හා දරුවන් අතර පවතින සම්බන්ධතාව ද දුරස්ථ වේ. දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය තිව්‍ර කරන අතීත සමාජයේ ගමක දක්නට ලැබුණ සිංහල අලුත් අවුරුදු උත්සවය මනා උත්කර්ශවත් එකක් විය. එමෙන්ම පැරණි තරහා මරහා අමනාපකම් ඉවතලා හැමෝම සතුටින් එකට ඒකරාශී වන්නේ ද මේ උත්සවය දවසටයි. අසල්වාසීන්ගේ ගෙවල්වලට මෙන්ම නෑදෑ හිත මිතුරන්ගේ ගෙවල්වලට කැවිලි පිඟානක් අරගෙන ගොස් ඔවුන් හා කතාබස් කොට සම්බන්ධතා අලුත් කර ගැනීමක් මෙම උත්සවයේ දී සිදු වේ. එහෙත් වර්තමානය වන විට එම උත්සවය සැමරීම මන්දගාමී තත්ත්වයක පවතින්නේ පවතින ආර්ථිකමය තත්ත්වය ඊට බලපෑම් කරන බැවිනි. සියල්ලෝම ණය බරින් පීඩා විදින්නෝ බවට පත්ව ඇත. ගම් වෙදා ද අද අතුරුදහන් වී ඇත. කුල සංකල්පය ද එතරම් ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇත. එය නම් සතුටට කාරණාවකි. ගම පාලනය කරන ඒ වංශවත් ප්‍රභූ නායකයා ඇතැම් ගම්මානවල අද දක්නට නොලැබේ. මේ සෑම කාරණාවකින්ම පෙනී යන්නේ පරමාදර්ශී ගම අදටත් ඒ ආකාරයෙන්ම නොපවතින බවයි. මෙයට ප්‍රධාන හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසුන්ගේ ආකල්පවල යම් වෙනසක් පැවත තිබීමයි. ඊට අමතරව පවතින ආර්ථික තත්ත්වය ද , තාක්‍ෂණය විසින් ගම ආක්‍රමණය කර තිබීම ද මෙයට බලපෑ හේතු ලෙස සඳහන් කළ හැකිය.

මේ පර්යේෂණය හරහා මා ලැබූ අත්දැකීම්
පළමු කොටම මේ පර්යේෂණය සඳහා අපව මෙහෙය වූ ජනශ්‍රුති විෂය භාර ආනන්ද තිස්ස කුමාර ගුරුතුමාට ස්තුතිය පළ කිරීමට කැමැත්තෙමි. මන්ද මෙවැනි වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ජිවිතයට ලබාගත හැකි දෑ බොහෝය. මෙමගින් මා ලැබූ අත්දැකීම් ප්‍රමාණය නම් බොහෝ ය. බොහෝ විට බොහෝ දෙනෙක්ට තමන් උපන් ගම අලුත් එකක් නොවුන ද මටනම් මා උපන් ගම අලුත් එකකි. එමෙන්ම එහි වාසය කරන මිනිසුන් ද අලුත් අය වෙති. මන්ද අවුරුදු පහේ සිට මා සිටියේ ගමින් පිටත වෙනත් ගමකය. එසේ නතරව සිටියේ පාසල් යෑම සඳහාය. ගමට පැමිණියේ වාර්ෂිකව ලැබෙන නිවාඩුවකට පමණි. එබඳු තත්ත්වයක් මත මෙම පර්යේෂණය සිදු කිරීමට යෑමේ දී බොහෝ අත්දැකීම් වලට මුහුණ පෑවෙමි. ඇතමෙක් මා මේ තොරතුරු ගන්නේ මන්දැයි සිය දහස්වරක් මගෙන් ප්‍රශ්න කළේය. ඇතමෙක් මට මේ තොරතුරු ලබා දීමට එතරම් කැමැත්තක් නොදැක්වීය. එහෙත් මට එය එතරම් බලපෑමක් නොකළේ මා පියා මේ ගමේ මුල් පදිංචිකරුවෙකු වීමත්, ඔහු මට අවශ්‍ය බොහෝ දේ දැනසිටීමත් හා මේ ගමේ ආරම්භය සිදු වූයේ මාගේ සියාගෙන් වීමත් නිසාය. එමෙන්ම තොරතුරු ලබා දීමට ඉදිරිපත් වූවන්ගෙන් වුවද ඇතැම් වැඩිහිටියෙක් විෂය පතයෙන් බාහිර බොහෝ දේ පැවසීම හේතුවෙන් මට සෑහෙන කාලයක් ඒ සඳහා මිඩන්ගු කිරීමට සිදු වුණි. සමහරක් විට සමහරක් අයෙක් මා හට තොරතුරු ලබා දීමට මැලි විමට ප්‍රධාන හේතුවක් වන්නට ඇත්තේ මනුෂ්‍යයන් ලෙස ඔවුන් තුළ පවත්නා සාධාරණ ඉරිසියාව වන්නට ඇතැයි ද මට සිතේ. මන්ද උස් ඇල්ල ගමටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා ඉගන ගත් අයෙකුට සිටින්නේ මා පමණකි. එම නිසා තොරතුරු එකතු කිරීමට යාමේ දී ඇතැම් වැඩිහිටියන්ගේ ඉරිසියාකාර වාග් ප්‍රහාරවලට පවා මා ගොදුරු වුණෙමි. එහෙත් මට එය එතරම් මානසිකව බලපෑමක් නොකරන දෙයක් වූයේ අවුරුදු පහේ සිට මා හැදුන වැඩුන පරිසරය නිසාය. ගමෙන් පිටත දෙමාපියන්ගෙන් දුරස්ථව මා ගෙවූ ඒ ජීවිතය මට සමාජයේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන්නට ඉගැන්වීය. මා උස් ඇල්ල ගමේ උපන් පළමු දරුවා ද වෙමි. එය මාගේ උප්පැන්න සහතිකයේද සටහන්ව ඇත. ගමේ උපන් පළමු දරුවා ලෙසත්, ගම ගැන පර්යේෂණයක් සිදු කළ පළමු තැනැත්තා ලෙසත් මට නිසැකවම තෘප්තිමත් වීමට හැකිය. ඒ සඳහා මා යොමු කළ ආනන්ද ගුරුතුමාටත්, ගම ගැන තොරතුරු ලබා දීමට ඉදිරිපත් වූ ගම්වාසී සියලු දෙනාටත් මා කෘතඥතා වෙමි. ගම ගැන බොහෝ දේ මෙහි සඳහන්ව ඇත. එහෙත් ජන වෛද්‍ය සම්ප්‍රදාය, විවිධ උත්සව අවස්ථා , වත් පිළිවෙත්, මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර ආදි අවස්ථා පිළිබඳ විස්තර මෙහි සටහන් වී නොමැත්තේ සෙවීමට අවශ්‍ය කරුණු පිළිබඳ රාමුවක් තුළට ශිෂ්‍යයා කොටු වූ නිසා බව පැවසිය යුතුය. එය එසේ සිදු කළ එක ගැන ගුරුතුමාට කෘතඥතා වෙමි. මන්ද එසේ නොකලේ නම් මෙහි කෙලවර අපිටම සොයා ගැනීමට නොහැකි වනු ඇත. මන්ද ගම ගැන සිදු කරන පර්යේෂණයක් තුළ සඳහන් කිරීමට බොහෝ දේ ඇති නිසාවෙනි. අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ මිනිසුන් ගැන දැනගැනීමටත් ඔවුන්ගේ ආකල්ප හඳුනා ගැනීමටත් මෙය මා හට අනගි අවස්ථාවක් වූ බවය. තොරතුරු ලබාගැනීමට යෑම සඳහා ඇති ගැටථව (කාලය, හා දුර), වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සොයා ගැනීමට ඇති අපහසුව, ගමේ පදිංචි මුල් පදිංචි කරුවන් වශයෙන් වැඩිහිටි කිසිවෙකුත් නොවීම හා මුල් පදිංචි කරුවන් වන බාල පරම්පරාව ගම ගැන කිසිවක් නොදැන සිටීම, යනාදිය ගැටලු බවට පත්වුණි ද මා බොහෝම ආශාවෙන් මෙම පර්යේෂණය සිදු කළ බව සඳහන් කළ යුතුය.



ආශ්‍රිත ග්‍රන්ථ

1.       පී.බී.කෙහෙල් ගමුව, කොත්මලේ පුරාවෘත්ත , 2002 , (දෙවන මුද්‍රණය ) , ගොඩගේ ප්‍රකාශකයෝ, කොළඹ.
2.       එස්.විජේසූරිය,  ශ්‍රී ලංකාවේ ජනකතා , 1996, සහාභාගිත්ව සංවර්ධන පර්ෂදය, කෝට්ටේ.
3.       එස්.විජේසූරිය,  ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතිය , 1997, සහාභාගිත්ව සංවර්ධන පර්ෂදය, කෝට්ටේ.
4.       සමන්ත ජයසුන්දර , දුටුගැමුණු රජතුමා හා සබැඳි කොත්මලේ ජනශ්‍රෘති, 2000, සංස්කෘත කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ.
5.       ලංකාදීප ,සඳුදා 18-02-2011
6.       කහදගමගේ පියසේන , ජනශ්‍රුතිය හා ජනතාව , 2002, එස්. ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10.
7.       දනන්සූරිය ජිනදාස ,  ජනශ්‍රුති අධ්‍යයන , 2002, එස්. ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10.
8.       මහේන්ද්‍ර සුනන්ද  , පුරාණෝක්ති සංග්‍රහය  , 2003, එස්. ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10.
9.       වනසිංහ සිල්වා සේනාධීර ශාමින්ද  , පර්යේෂණ ක්‍රමවේදය  , 2007, එස්. ගොඩගේ සහ සහෝදරයෝ , කොළඹ 10 ,
10.   වීරසිංහ අමරදාස , සිංහල ජනශ්‍රුතිය හැදරිම , 2002 , සංස්කෘත ප්‍රකාශනය  , ගල්කිස්ස.
11.   සූරසේන ඒ . පි .   අපේගම  , 2010, දර්ශා ප්‍රකාශකයෝ  , තලවතුගොඩ.
12.   බේකර්. ජෙ. වික්ටෝරියා.  සුදුවතුර ආර ගම, 2006  ,සුනෙර ප්‍රකාශකයෝ,නුගේගොඩ.
13.   ලීච් ඊ ආර්. පුල්එළිය, 2003 , සුරිය ප්‍රකාශකයෝ,මරදාන.
14.   පල්ලියගුරු චන්ද්‍රසිරි, ජනශ්‍රුතිය, පුරාකථාව සහ පුරාවෘත්තය, 2005, ගොඩගේ ප්‍රකාශන


1 comment: