Tuesday, May 21, 2013

ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු රැසක් මතුකරන සීගිරිය



ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු රැසක් මතුකරන සීගිරිය

හැඳින්වීම
සීගිරිය යනූ ජාත්‍යයන්තර වශයෙන් කීර්ති නාමයක් දිනූ ලෝක උරුමයක් වශයෙන් ප්‍රකටව ඇති ශ්‍රී ලංකිකයා සතු වූ ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක වටිනාකම් රාශියකින් යුත් ස්ථානයකි. එහි ඇති පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ මෙන් ම ගොඩනැගිලි තාක්‍ෂණය, ජල හා වාරි කර්මාන්ත තාක්‍ෂණය නූතන දක්‍ෂ ඉංජිනේරුවන් පවා මවිතයට පත් කරන්නෙකි. පැරණි සිංහලයා සතු වූ කාර්මික ඥානය, ශිල්පීය දක්‍ෂතාව, ඉවසුම් සහගත මනා වූ ශික්‍ෂණය, ආදි ලක්‍ෂණ රාශියක් පෙන්නුම් කරන නිර්මාණ රාශියක් සීගිරියෙන් දක්නට ලැබේ.  එකි නිර්මාණයන්ගේ පුරාවිද්‍යාත්මක ලක්‍ෂණ මෙන්ම සීගිරි ඉතිහාසය පිළිබඳ ප්‍රමාණවත් විස්තරයක් කිරීම අපගේ අරමුණයි.
              සීගිරි ඉතිහාසය මධ්‍ය ශිලා යුගය හෙවත් මෙසොලිතික යුගය දක්වා දිව යන්නෙකි. ඒ අනුව එම යුගයේ මිනිසුන් ජීවත් වූ ජනාවාස එහි තිබී ඇත. මහින්දාගමනයෙන් පසු ක්‍රි.පූ තුන්වැනි සියවසේ සිට සීගිරිය පර්වතය පාමුල ඇති ගල්ගුහාවල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ලා වාසය කළ බවට සාක්‍ෂි හමුවී ඇත. එම ගල්ලෙන්වල කටාරම් කොටා ඒ යට ලියන ලද බ්‍රාහ්මී අක්‍ෂරවලින් ඒ බව පැහැදිළි වේ. තවත් සාක්‍ෂියක් වන්නේ එම භික්‍ෂුන් වහන්සේලා භාවිතා කළ මැටි භාජනවල කොටස් හමු වීමයි.
         ක්‍රි.ව පළමුවන සියවසේ දී පමණ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ලා මෙම සීගිරියේ ලෙන අත්හැර ගිය බවක් දක්නට ඇත. ඉන් පසු ශත වර්ෂ හතරක් හෙවත් අවුරුදු 400ක් පමණ යන තුරු මෙම ස්ථානය මහජන සබඳතාවයෙන් තොරව පැවත ඇත. පසුව ක්‍රි.ව 477-495 කාලය සීගිරි කාශ්‍යප සිය රාජධානිය වශයෙන් සීගිරිය පවත්වාගෙන ගිය බව මහාවංශයේ සඳහන් වේ. කාශ්‍යපගෙන් පසුව බලයට පත් වූ කිසිම රජ කෙනෙකු සිය තාවකාලික වාසභවනය ලෙස හෝ සීගිරිය පවත්වාගෙන ගිය බවට තොරතුරු හමු නොවෙන අතර නැවතත් සීගිරිය භික්‍ෂුන් වහන්සේලාගේ ආරමයක් ලෙස පැවත ඇත. ඇතැම් ගුහාවල දක්නට ලැබෙන බෝධිසත්ව රූපයන්ගෙන් පැහැදිළි වන්නේ මෙහි මහායානික භික්‍ෂූන් වැඩ වාසය කරන්නට ඇති බවයි. සීගිරිය යන නාමය මෙම ස්ථානයට ලැබී ඇත්තේ කාශ්‍යප රජුගේ වාසභවනය ඉදි වීමෙන් පසුවය. ඊට පෙර මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ චාත පබ්බත යන නාමයෙනි. ඇතමුන් මෙය ජෝත පබ්බත ලෙස ද හඳුන්වයි.
             සිංහල රජ කාලයට පසුව සීගිරිය නැවත සොයා ගන්නා ලද්දේ 19 වන සියවසේ මුල්භාගයේ දීය. මේ කාලයේ සීගිරිය නැරඹීමට පැමිණි වාර්තාගත පුද්ගලයා වන්නේ මේජර් ෆොබස් මහතාය.  1890 දී පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව පිහිටවනු ලැබූ අතර එහි ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් විදියට එච්.සී.පී.බෙල් මහතා ( 1890-1912) පත් වූ අතර ඔහුගෙන් විශාල මෙහෙවරක් සීගිරිය ආශ්‍රිත සොයා ගැනීම්වල දී සිදු විය. ඊට පසු කොමසාරිස්වරු ලෙස සේවය කළ ඒ. ආර්. අයර්ටන් (ක්‍රි.ව 1912-1913) බී.කොන්ස්ටන්ටයින් (ක්‍රි.ව 1913-1914 ) ඒ.එම්.හෝර්කාට් ( ක්‍රි.ව 1922-1927 ) ආචාර්ය සෙනරත් පරණවිතාන ( 1940-1956 ) ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, රාජා ද සිල්වා, සද්ධාමංගල කරුණාරත්න, හා රෝලන්ඩ් සිල්වා යන කොමසාරිස්වරු ද මේ සම්බන්ධයෙන් පැසසුම් ලැබිය යුතුය. 1982 දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් වූ සීගිරිය දකුණ හා අග්නිදිග ආසියාවේ ශේෂව ඇති ඉපැරණි රාජකීය නගර අතරින් එකක් ලෙස ද සැලකේ.



සීගිරි ඉතිහාසය

පූර්ව කාශ්‍යප යුගය
කාශ්‍යපට පෙර යුගයේ සීගිරි පර්වතය හඳුන්වා ඇත්තේ චාත පබ්බතනමින් බව ඉතිහාසඥයෝ විශ්වාස කරති. සද්ධාතිස්ස රජුගේ කාලයේ එහි චෛත්‍යයක් ඉදිකොට තිබු බව ද ඔවුන් විසින් පෙන්වා දේ. එහි ගල්පර්වතය වටා ඇති ලෙන් හා ඒවා සමහරක ඇති බ්‍රාහ්මී ශිලාලිපිවලින් අනාවරණය වන්නේ ක්‍රි.ව 5වන සියවසට පෙර ශත වර්ෂ කිහිපය තුළ එහි භික්‍ෂූන් වහන්සේ ලා වැඩ සිටි බවයි. ඒ අනුව ක්‍රි.පූ 3-1 කාල වකවානුවේ භික්‍ෂූන් සීගිරියේ පිහිටි ගුහාවල වාසය කළේ නම් එම භික්‍ෂූන් වහන්සේ පෝෂණය කොට රැක බලා ගැනීමේ වගකීම දැරෑ ගිහි සමාජ සංවිධානයක් ද මෙහි පැවති බව පිළිගැනීමට සිදු වේ. සීගිරියට නැගෙනහිරින් පිහිටි අලිගල ගුහාවල මිනිසුන් වාසය කළ බවට සාධක හමු වේ. එය අවුරුදු 7000කට පෙර අපර පාෂාණ යුගයයි. එකල එහි වාසය කළේ දඩයක්කරුවන්ය. ඒ අනුව ආදි ඓතිහාසික යුගය දක්වා ඔවුන්ගෙන් පැවත එන්නන් සිටි බව පෙනී යයි.

කාශ්‍යප යුගය
සීගිරි කාශ්‍යපගේ පියා ධාතුසේන රජුය. ධාතුසේන රජුට පුතුන් දෙදෙනෙක් හා දියණියක් සිටි බව සඳහන් වේ. ඒ දෙදෙනා කාශ්‍යප හා මුගලන්ය. එහෙත් මේ දෙදෙනාගේ මව දෙදෙනෙකි. ධාතුසේනගේ රන්දෝලි නම් අගබිසවගේ පුතා මුගලන් ලෙසත්, යකඩ දෝලිය බිසවගේ පුතා කාශ්‍යප ලෙසත් ඉතිහාසයේ සඳහන් වේ. සාමාන්‍ය චාරිත්‍රයක් වශයෙන් ධාතුසේනගෙන් පසුව රජකම හිමිවිය යුත්තේ මුගලන් කුමරුන්ටය. එහෙත් මෙම තත්ත්වය සිදු වු යම් තත්ත්වයක් නිසා වෙනස් විය.
                     මහවංශයේ දැක්වෙන ආකාරයට ධාතුසේන රජුගේ එකම දියණිය විවාහා කර දී ඇත්තේ රජුගේ නැඟණියගේ පුතාවන මිගාර සේනාපතියාටය. දිනක් තම නැගණිය සිය දියණියට දැඩිලෙස පහර දී සිදුකර ඇති තුවාල දැක කෝපයට පත් ධාතුසේන රජු ඒ පළිය සිය නැඟණියගෙන් ලබාගත්තේ  ඇයව නිරුවත් කොට පුථස්සා මරාදැමීමෙනි. එහෙත් මෙය තවත් තැනක සඳහන් වන්නේ මිගාර විසින් සිය දියණියට සිදු කරන ලද පහර දීම් හේතුවෙන් ධාතුසේන රජු සිය නැගණියගෙන් පලි ගත් බවයි. (සීගිරි කාශ්‍යප)  මේ නිසා ධාතුසේනගෙන් පළිගැනීමට සිතු මිගාර ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් කාශ්‍යප සමඟ මිතුරු විය. අවසානයෙ දී මේ දෙදෙනාගේ උපක්‍රමයකින් රජු සිරගත කර කාශ්‍යප රජ බවට පත්විය. මේ අතර මුගලන් ඉන්දියාවට පැන ගියේය.
                        දිනක් මිගාර කාශ්‍යපට දන්වා සිටියේ මුගලන් කුමරුට ලබාදීම සඳහා ධාතුසේන රජු විශාල ධනයක් සඟවා තබා ඇති බවයි. මෙයින් කේන්තියට පත් කාශ්‍යප ඒ ධනය ඇති තැන් දැනගෙන එන මෙන් දන්වා සිරගෙට දූතයින් පිටත්කර හැරියේ ය. මෙහි දී උපායක් කල්පනා කෙරූ ධාතුසේන රජු සිය මාමා වන මහානාම හිමි බැහැදැක තමන් විසින්ම සිදුකරන ලද කලාවැවත් දැක මිය යන්නේනම් යහපතැයි සිතා තමන්ගේ ධනය ඇත්තේ කලාවැවේයැයි දූතයින් අත පණිවිඩයක් පිටත්කර හැරියේ ය.
                         කලාවැවට ගිය රජු එහි ඇති ජලය පෙන්වා මේ මගේ වස්තුවයැයි ප්‍රකාශකර ඇත. මෙහිදි කෝපයට පත් වූ මිගාර හා කාශ්‍යප ධාතුසේන රජුගේ සියලු සථපිළි ගලවා නැගෙනහිරට මුහුණ ලා බැඳ බිත්තියකට තබා රජු යටවන සේ පස් දමා ඇත. ඔහු එතනම මිය ගොස් ඇත. ධාතුසේන රජුට මේ පල දී ඇත්තේ ඔහු විසින් මේ ආත්ම  භාවයේ ම සිදුකරන ලද කර්ම ඵලයකියැයි මහවංශයේ සඳහන් වේ. එනම් කලා වැව සාදන කාලයෙහි භාවනායෝගීව එහි වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ නමක් එයින් ඉවත් කිරීමට නොහැකි වීම හේතුවෙන් රජුගේ අණ පරිදි එම භික්‍ෂුව පස් දමා යටකර ඇත. රජුට පල දුන්නේ එම කර්මයයි. රජකම් කලත් කලකම් පල දෙන බව මෙම කතාවෙන්ම පැහැදිලිව පෙනේ.
                         ධාතුසේන රජුගේ රාජ්‍ය කාලය වසර දහඅටකි. ඔහු දෙමථන් හත් දෙනෙකු පිළිවෙලින් රජරට රජ කරමින් සිටි අවස්ථාවේ දී යළි බලය ගත් දක්‍ෂ රජ කෙනෙකි. හෙතෙම වෙහෙර දාගැබ් රැසක් ද රටේ සංවර්ධනයට වැව් රැසක් ද ඉදි කරවූයේ ය. මේ නිසා ධාතුසේනට පසුව රජ වූ කාශ්‍යපට සීගිරිය වැනි කලාගාර ඉදිකිරීමට හැකි පරිසරයක් තිබුණේය. ආර්ථික සමෘද්ධිය එකල කෙතරම් වී ද යන්න සීගිරිය හා නටබුන් පරීක්‍ෂාකර බැලීමේ දී මනාව පැහැදිළි වේ.
                        පීතෘ ඝාතක කාශ්‍යප රජු එකල විසූ සාමාන්‍ය ජනතාවගේ ද භික්‍ෂූන් වහන්සේලාගෙද දැඩි පිළිකුලට ලක් වී ඇත. ධාතුසේන රජුගේ ( ක්‍රි.ව 459-477) සිංහල රාජ්‍යයේ අගනුවර වූයේ අනුරාධපුරයයි. එසේ වුව ද කාශ්‍යප සිය රාජධානිය වශයෙන් යොදාගත්තේ සීගිරියයි. (ක්‍රි.ව.477-495) එම විස්තරය මහවංශයේ 39 වැනි පරිච්ජෙදයේ දැක්වෙන්නේ පහත ආකාරයටය.
                    ඉක්බිති පවිටු කසුබ් නම් ඒ රජ තෙමේ අස්ගොව්වා ද අරක්කැම්යා ද යවා මම් මුගලන් කුමරහු මරවනු නොහැකිවමින් බියව සීගිරි රට ගියේ ය. මිනිසුන් විසින් නැංග නොහෙන ( ඒ පව්ව ) සිසාරා සුද්ධ කරවා පවුරෙකින් පිරිකෙව් කොට එහි හිණි ගෙවව් සිංහයින් බඳු කොට කරවීය. එහෙයින් සීගිරි නම් වී. හේ තෙමේ වස්තු රැස්කොට සුරැකි කොටතබා තබූ ඒ වස්තූන්ට ඒ ඒ තැනින්  ආරක්‍ෂා තබා එහි දැකුම් කටයුතු සිත්කථ රජ ගෙයක් දෙවැනි අලවිමදාවක් ( ආලකමන්දාවක් සේ ) කොට වෙසමුණු මහරජ හු සෙයින් එහි විසීය.  ( මහවංශය 39වැනි පරිච්ජෙදය )
                          තම සොහොයුරු මුගලන් කුමරුන්ට බියේ ඔහුගෙන් එල්ලවිය හැකි තර්ජන ගැන කල්පනා කළ කාශ්‍යප රජු සිය අගනුවර සීගිරියට ගෙන ගිය බව මෙයින් කියැවෙයි. ඒ වනවිට යුධ හමුදාවක් සූදානම් කරගෙන නිසිකලට ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටි මුගලන් කුමරු ඉන්දියාවේ කාලය ගෙව්වේය. ධාතුසේන රජු මිය ගොස් ටික කාලයකින් කාශ්‍යප සීගිරියේ වාසය සඳහා ගිය බව මහවංශයේ සඳහන් වේ. කෙසේ වුව ද සීගිරි පර්වතය මුදුනෙහි මාළිඟයක් තැනීමට ප්‍රථම සිංහ මුඛයෙන් පටන් ගන්නා පඩිපෙළ තනා එම පර්වතයට නැඟීම පිණිස මාර්ගය තැනීමට සෑහෙන කාලයක් ගතවන්නට ඇත. ඒ අනුව රාජකීය වාසභවයනට සුදුසු මාළිගය හා අනෙකුත් ගොඩනැගිලි පදිංචියට සුදුසු අයුරින් සැකසීමෙන් පසුව කාශ්‍යප රජු සීගිරියට ගිය බව පැහැදිළි කරුණකි. මේ අනුව සීගිරිය වටා පවුරු දිය අගල් ද, මුර ගෙවල් ද, සීගිරි ජල උද්‍යාන ද, ශිලා උද්‍යානය ද, වතුර මල් ද, ජළ නළ පද්ධතිය ද, සීගිරි පර්වතය මත ගොඩනැගු මාළිගය ද ඒ සඳහා නැගීමට අවශ්‍ය පඩිපෙළ ද, සැකසීම කාශ්‍යප රජුගේ මූලිකත්වයෙන් වසර 18 ක් තුළ සිදුකෙරුණි.

සීගිරියට නම සැදුන ආකාරය

කැටපත් පවුර මාර්ගයෙන් උතුරු දෙසට වන්නට පිහිටා ඇති සිංහපාද දෙකක් මැදින් ඉහළට නගින ඉණි මගක් දැක ගත හැකිය. මුලදි මෙහි දැවැන්ත සිංහ රාජයෙකුගේ රූපයක් දක්නට ලැබී ඇත. 1වන කාශ්‍යප විසින් (477-495) විසින් සිදු කරන ලද මෙම සිංහ රූපය නිසා මෙම ගල් පර්වතය මුල දී සිහගිරි නමින් හඳුන්වා ඇත. පසුව එය සීගිරි ලෙස ව්‍යවහාරට පරිවර්තනය වී ඇත.

පශ්චාත් කාශ්‍යප යුගය
මහවංශයේ සඳහන් වන පරිදි මුගලන්ගේ සතුරු සේනාවට මුහුණ දිය නොහැකිව කාශ්‍යප සියතින්ම ගෙල කපා මිය අතර ඔහුගෙන් පසු මුගලන් අනුරාධපුරයෙහි රජ බවට පත්විය. පසුව මුගලන් විසින් සීගිරියේ විහාරයක් කරවා එය මහනාම හිමියන්ට පූජා කර ඇත. ඒ අනුව සීගිරියේ ආරමයක් ඉදි වී ඇත. සීගිරි කාශ්‍යප රජුගෙන් පසුව කිසිදු රජ කෙනෙක් සිය තාවකාලික වාසභවනය වශයෙන් හෝ සීගිරිය භාවිතා කළ බවට සාක්‍ෂි හමු නොවේ. මේ නිසා කාශ්‍යප මෙම සීගිරියේ සිටි එකම රජු වශයෙන් සැලකේ. පසු කලෙක නැවතත් මුගලන් රජු විසින් සීගිරිය මහා සංඝයා වහන්සේලාට පැවරූ නිසා එය වසර සියයක පමණ කාලයක් ප්‍රසිද්ධියට පත් නොවී පැවතුණි. ක්‍රි.ව සත්වැනි සියවසේ මුල්කාලයේ සීගිරියෙහි හෝ ඒ අසළ දී රජවරුන් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්කර ඇත. ඊට අමතරව ක්‍රි.ව 16 වැනි සියවසේ දී ලියැවී ඇති මන්දාරම්පුර පුවත නම් කාව්‍ය ග්‍රන්ථයේ සීගිරිගම ගැන සඳහන් වේ. සීගිරිය අභාවයට ගොස් බොහෝ කාලයකට පසු සීගිරිය හා එහි සිටි ප්‍රතාපවත් කලාකරුවා වන කාශ්‍යප රජුගේ විශිෂ්ට නිර්මාණයන් දැකගැනීමට සාමාන්‍ය ජනතාව දහස් ගණනින් පැමිණි බවට කදිම සාක්‍ෂියක් වශයෙන් සීගිරි කැටපත්පවුරේ ලියවී ඇති කුරුටු ගීයක් පෙන්වා දිය හැකිය.
                     අවුද් මුථ වෙ ගිරිගි යන වී අප මුථ   විසිරි

                     (සි) හිඳුන් සෙය හැඟැ සිහි වන්නම්   සිහිගිරි
                                                                           (174 ගීය)
මෙමඟින් සීගිරි පර්වත මුදුනේ සිටින නැරඹීමට පැමිණි ජනතාවට සෙසු ජනතාවට නැරඹීමට ඉඩකඩ සලසමින් විසිර යන ලෙස දන්වා ඇත. සීගිරිය නැරඹිමට අදත් දිනකට දහස් ගණන් සංචාරකයින් පැමිණෙන බවට වාර්තා වී ඇත.
                   සීගිරියේ සිදුකරන ලද පළමු වාරයේ කැනීම්වලට අනුව එය ඓතිහාසිකව යුග ගණනාවකට බෙදා වෙන්කළ හැකි බව පෙන්වා දී ඇත.

1 වන අවධිය : ආදි ආරාමික ජනාවාස  (ක්‍රි.පූ 3/2වන සියවස්හි සිට ක්‍රි.ව 1වන සියවස දක්වා)

සීගිරි පර්වතය පාමුල වූ කටාරම් සහිත ගුහා සහ ඒවා සඟ සතුකොට පිදු බව දැක්වෙන බ්‍රාහ්මී ශිලා ලිපි මේ යුගයට අයත්ය.

2 වන අවධිය :   පූර්ව කාශ්‍යප යුගය ( ක්‍රි.ව 1 සියවස සිට ක්‍රි.ව 5වන සියවස දක්වා)

මේ වකවානුවේ ඉතිහාසය අවිනිශ්චිතය. මේ දක්වා කැණීම්වලදී හමු වූ ද්‍රව්‍යාශිෂ්ට ඉතා විරලය. පැරණි බැමි හා වළං කැබිලිති අන්තර්ගත පස් තට්ටු පිළිබඳ ව සිදු කෙරෙන විකරණශීලී කාලකීර්ණය මගින් ඒවා මේ අවධියට අයත් විය හැකි බව ඔප්පු විය හැකිය.

3 වන අවධිය :    කාශ්‍යප යුගය ( ක්‍රි.ව 477 සියවස සිට ක්‍රි.ව 495වන දක්වා)

මෙය ප්‍රධාන ඉදිකිරීම් කාලපරිච්ජෙදයයි. එහෙත් මෙය මුථමනින් ම සමජාතීය නොවන්නේ වසර 18ක් වූ කාශ්‍යපගේ කාලය තුළ සීගිරිය ගොඩනැන්වීම පිළිබඳ විවිධාකාර අතුරු අවධි දක්නට ලැබෙන හෙයිනි.

4 වන අවධිය : පශ්චාත් කාශ්‍යප යුගය (අ) : ( ක්‍රි.ව 6-7 සියවස් දක්වා වූ පසු ආරාමික යුගය)

ඉඳිකිරීම් සඳහා අර්ධ වශයෙන් සැකසු කලුගල්  භාවිතා කළ ආරම්භක අවධියයි. එසේම සීගිරියෙන් කොටසක් අභාවිත තත්ත්වයට පත්ව බිඳ වැටුණු ප්‍රථම අවධියයි.

5 වන අවධිය : පශ්චාත් කාශ්‍යප යුගය (ආ)
 අවිනිශ්චිතයි. ඇතැම්විට මෙම වකවානුව 8-13 සියවස් විය හැකියි. සමහර විට පොළොන්නරු යුගයට අයත් විය හැකි සැකසුණු කථගල් හා ගඩොල් යොදා ගත් ඉදිකිරීම් වැඩ මේ වකවානුවේ දී හමු වේ. උථ ගඩොල් වැඩවලින් පෙනී යන්නේ තරමක් පශ්චාත් කාලීන අවධියකි. එහෙත් මේ යුගය සීගිරියේ බොහෝ කොටස් අත්හැර දැමීම සහිත භයාන අවධියකි.

6 වන අවධිය : අත්හැරීම් යුගය ( 13-17 සියවස් දක්වා)
මෙකල භූමිය මුථමනින් ම අත්හැර දමාගොස් තිබෙන්නට ඇත.

7 වන අවධිය : නුවර යුගය (17-19 සියවස් )
මෙකල සීගිරිය හා අවට ගම් මහනුවර රාජධානියේ ප්‍රත්‍යන්ත විය. ඒ බව ඓතිහාසික වාර්තාවල සඳහන්ය. මෙකල මහනුවර යුගයට අයත් බලකොටුවක් ද සීගිරියේ වූ බව දැක් වේ. 17 හා 18 සියවස්වලට අයත් ද්‍රව්‍ය මතුපිටින් විරල වශයෙන් හමු වේ.

8 වන අවධිය : නූතන පුනරුදය
1830 ගණන්වල සිට 19 වන සියවස් මුල් භාගයේ වූ පුරාවස්තු පිළිබඳව තිබු උනන්දුව මත පුරාවිද්‍යාත්මක වැඩ කටයුතු ආරම්භ වූයේ 1894 දීය. මේ පිළිබඳ ප්‍රධාන වකවානු නම් 1894-1900
( බෙල්), 1946-54 ( පරණවිතාන ), තදනන්තර වැඩ කටයුතු  1950 දශකයේ මැද භාගයේ සිට විශේෂයෙන් ම ගොඩකුඹුරේ ( 50 දශකයේ හා 60 දශකයේ පසු භාගය ) හා රාජා ද සිල්වා ( 70 දශකයේ ) යටතේ සිදුවිණි.


ප්‍රතිසංස්කරණය නොවු සීගිරිය

සීගිරිය ගල මත ඇති මාළිගය හා පොකුණු ඇතුථ සියලුම නිරිමාණයන් ප්‍රතිසංස්කරණයට භාජනය වී නොමැත. එයට හේතුව වන්නට ඇත්තේ කාශ්‍යපගේ මරණයෙන් පසු කිසිදු රජ කෙනෙකු සිය තාවකාලික වාස භවනය ලෙස හෝ සීගිරිය භාවිතා නොකිරීමයි.

නැවත සොයාගත් සීගිරිය

සිංහල රජ කාලයට පසුව සීගිරිය නැවත සොයා ගන්නා ලද්දේ 19 වන සියවසේ මුල්භාගයේ දීය. මේ කාලයේ සීගිරිය නැරඹීමට පැමිණි වාර්තාගත පුද්ගලයා වන්නේ මේජර් ෆොබස් මහතාය. ඔහු 1831 හා 1833 යන වර්ෂවල දෙවරක් ම සීගිරිය නැරඹීමට පැමිණ ඇත. 1853 දී වයි. ඇඩම්ස් හා ජෙ.බේලි යන ඉංග්‍රීසි ජාතිකයින් දෙදෙනා සීගිරි පර්වතයට නැග ඇත. ඉන් පසු සීගිරිය පිළිබඳ ලිපි ලේඛන සැපයු විද්වතුන් දෙදෙනකු වන්නේ ශ්‍රීමත් ජෙම්ස් එමර්සන් ටෙනන්ට් හා ටී.ඩබ්.රීස් ඩේවිඩ්ස් ය. ප්‍රථම වතාවට සීගිරි චිත්‍ර පිළිබඳ අවධානය යොමු කළේ රීස් මහාතාය. සීගිරි පර්වතය හා එහි පරිසරය පිළිබඳ ලියන ලද ග්‍රන්ථයක් 1876 දී ටී.එම්.බෙල්ස්කි මහතා විසින් ලියා ඇත. 1819 දී එවක ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත ඒ. මරේ මහතා විසින් සීගිරි පර්වතයේ බටහිර පැත්තේ ඇති සීගිරි ළඳුන්ගේ චිත්‍ර 13ක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ පිටපත් කොට ඇත. 1890 දී පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව පිහිටවනු ලැබූ අතර එහි ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් විදියට එච්.සී.පී.බෙල් මහතා ( 1890-1912) පත් වූ අතර ඔහුගෙන් විශාල මෙහෙවරක් සීගිරිය ආශ්‍රිත සොයා ගැනීම්වල දී සිදු විය. ඊට පසු කොමසාරිස්වරු ලෙස සේවය කළ ඒ. ආර්. අයර්ටන් (ක්‍රි.ව 1912-1913) බී.කොන්ස්ටන්ටයින් (ක්‍රි.ව 1913-1914 ) ඒ.එම්.හෝර්කාට් ( ක්‍රි.ව 1922-1927 ) ආචාර්ය සෙනරත් පරණවිතාන ( 1940-1956 ) ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, රාජා ද සිල්වා, සද්ධාමංගල කරුණාරත්න, හා රෝලන්ඩ් සිල්වා යන කොමසාරිස්වරු ද මේ සම්බන්ධයෙන් පැසසුම් ලැබිය යුතුය. 1982 දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් වූ සීගිරිය දකුණ හා අග්නිදිග ආසියාවේ ශේෂව ඇති ඉපැරණි රාජකීය නගර අතරින් එකක් ලෙස ද සැලකේ.

පුරාවිද්‍යාත්මක තොරතුරු

ගොඩනැගිලි තාක්‍ෂණය
රාජ මාළිගා සංකීර්ණය

මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක් ද සාමාන්‍ය බිම් මට්ටමේ සිට මීටර් 200ක් ද උස සීගිරිය නමින් ප්‍රකට ගල්පර්වතය මුදුනේ අක්කර 2 1/2ක පමණ සීගිරි ඇතුල් නුවර රාජමාළිගා සංකීර්ණය පිහිටා තිබේ. උස් බිම් ,තැනිතලා, හා බෑවුම් සහිත එම භූමියේ ගල් හා ගඩොල් යොදා එහි ස්වභාවික භූමි දර්ශනය රැකෙන සේ මාර්ග, පියගැටපේලි වේදිකා තනා වඩාත්  උසම මාලකයේ රජ මාලිගාව හා එයට සම්බන්ධ අනෙකුත් ගොඩනැගිලි තනා තිබේ. ඇතුල් නුවර වටා ගල්පර්වතය මුදුන වටේ පවුර තනා තිබේ. මෙම මාලිගාව ලංකා කිරිගරුඬ නමින් ද හඳුන්වනු ලබන කැට සහිත හුණු ගලින් කරවූවක් බව පරණවිතාන මහතා කියයි. කාලිදාස කියන පරිදි කෛලාසය මත වූ ආලකමන්දාවේ කුවේරගේ රජමාලිගය පලිගුගලින් කරවන ලද්දකි. රාජ මාලිගය හැරුණු කොට රාජසභා මණ්ඩපය, පොකුණු ආදිය ද එහි වූ බවට සාධක තිබේ. ගල මුදුනේ නැගෙනහිර පැත්ත පහතින් පිහිටා තිබේ. මගුල් උයන එහි තිබුණා විය හැකිය. ප්‍රමාණයෙන් වඩාත් විශාල ගොඩනැගිල්ලක අවශේෂ ඒ අතර වෙයි. එය ගලමත උසම කොටසේ තනා ඇති උතුර දකුණ වශයෙන් දිග හතරැස්ව තනන ලද ගොඩනැගිල්ල රාජසභා මණ්ඩපය විය යුතුයි. එහි රජු හිදගත් ආසනය ලෙස සැලකිය හැකි ගල් අසුනක් ද එය වටා කුථණු තිබුණ බවට ලකුණු ද වෙයි. පහළ පිහිටි මගුල් උයන මේ ආසනයේ සිට බලන විට පෙනෙන සේ පිහිටියකි. රාජමාලිගයේ ප්‍රධාන දොරටුව දකුණු දෙසට මුහුණලා පිහිටා තිබේ. එය පියගැට කිහිපයකින් හා සඳකඩපහනකින් ද යුක්තය. ඊට සමාන තවත් පියගැට පෙළක්  නැගෙනහිරින් ද වේ. රජ මැදුරේ ප්‍රධාන බිත්ති දෙකක් තිබුන බවත් ඒ දෙක අතර හුණුගල් අතුරා ඇති බවත් කියනු ලැබේ. ඇතුල් බිත්තියෙන් වට වූ කොටසට පිවිසීමට ඇත්තේ එක් දොරටුවක් පමණි. එය පිහිටා ඇත්තේ දකුණු පැත්තේ ය. උතුරු පැත්තේ ඇති පොකුණ හා රජමාලිගය අතර පියගැට පෙළක් වෙයි. එමෙන් ම ගල මුදුනේ බටහිර පැත්තේ මීටර් 18ක් දිග මීටර් 10.8ක් පමණ පළල ගොඩනැගිල්ලක් වූ බවට සාධක තිබේ. එය දෙමහළකින් යුක්ත වන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ.

   සීතල මාලිගාව

සීගිරි ජලඋද්‍යානයේ ම කොටසක් වූ සීතල මාලිගා දෙකක නටබුන් අද දක්නට ලැබේ. මාලිගය සහිත ගොඩනැගිල්ල වටා කැපූ දිය අගලකින් එයට අවශ්‍ය සිසිලස ලබාගෙන තිබේ. දිය උනන ස්ථානයක් ද නොවූ බැවින් දිය අගලට අවශ්‍ය වූ ජලය ලබාගෙන ඇත්තේ නුදුරින් වූ වැවකිනි. සීගිරියේ සීතල මාලිගා නිර්මාණය කර ඇත්තේ චතුරස්‍රාකාර වූ ගොඩනැගිල්ලක් වට කරගත් දිය අගලින් සැදි මාලකයක් මධ්‍යයේ ය. මේ මාලක දිය අගලේ සිට මීටර 4ක පමණ උසට නිමවා තිබේ. කථගල් අල්ලා සකස් කර ඇති මේවා පුරාණයේ දී හතරැස් ආකාරයට මඳක් වෙනස් බවක් ගෙන ඇති බව දිය අගලේ සැලසුම පිරික්‍ෂීමෙන් පෙනෙයි. දිය අගල මධ්‍යයේ වූ මාලිගාවට පිවිසීමට සවිකරන ලද පාලම් කිසිවක් අද දක්නට නැතත් දකුණු පසින් වූ මාලිගයට ගමන් කිරීමට ස්වභාවයෙන් ම නිර්මාණය වූ කථගල් පර්වතයක් දක්නට පිළිවන.

දොරටු
සීගිරි නුවරට පිවිසෙන දොරටු තුනක් වෙයි. බටහිර, උතුර, හා දකුණ යන දිසාවලට මුහුණ ලා ඒවා පිහිටා තිබේ. දැනට භාවිත කරන ප්‍රධාන දොරටුව බටහිර පැත්තේ පිහිටා තිබේ. කාශ්‍යප රජු දවස ප්‍රධාන දොරටුව උතුරට තිබුණා විය යුතුයි. මේ දොරටු හැර තවත් දොරටු කීපයක් ඇතත් ඒවා පසුකාලවල තනන ලදැයි සිතිය හැකිය.

ප්‍රාකාර
සීගිරි නුවර වටා ප්‍රාකාර තුනක අවශේෂ සොයාගෙන තිබේ. පිටපවුර මැටියෙන් ද, මැද පවුර ගඩොලින් ද , ඇතුල් පවුර ගඩොල් හා මැටියෙන් ද තනා තිබේ. පිට සිට බලන විට අනුක්‍රමයෙන් එකිනෙකට උසස්ව පෙනෙන සේ මේ පවුරු තනා තිබෙන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ.

ගල් ආසනය
සීගිරිගලේ පහළ බෙයඳෙහි විශාල ගල් ආසනයක් හා එය අවට මැනවින් සකස් කළ ප්‍රදේශයක් ද අවට ගල්වල පහන් දැල්වීමට තනන ලද සිදුරු ද දැකිය හැකිය. මෙම ස්ථානයේ ඇති ගල් ආසනයට සමාන ගල් ආසන මිහින්තලේ හා පොළොන්නරුවේ ආලාහණ පිරිවෙනේ බද්ධ සීමා පාසාදයෙහි ද වෙයි. ඒ අනුව සීගිරියේ ගල් ආසනය රජු සඳහා කරවන ලද්දක් නොව උපෝසථ කර්මය සඳහා හෝ ධර්ම දේශනා සඳහා කරවන ලද්දකියැයි මතයක් පවතී. ( චන්‍ද්‍රා වික්‍රමගමගේ, කාශ්‍යප රජුගේ සීගිරි ආලකමන්දාව )

සිංහයා
රක්ගල් තලයට මුහුණලා ඇති ඇැතුල්නුවර දෙසට විහිදි ගමන් මාර්ගය ආරම්භ වන තැන දොරටුව සහිත හිණිගෙය සිංහයෙකුගේ ආකාරයට තනා තිබෙන්නට ඇත. දැනට එම සිංහයාගේ ඉදිරි පාද දෙකේ කොටස් ශේෂව තිබේ. ඉතා ප්‍රතාපවත් සිංහරාජයෙකුගේ රූපයක් එහි වූ බවත් සමහරු එම සිංහයා බැලීමට එහි පැමිණි බවත් එසේ පැමිණි අය හැසිරවීමේ ශක්තියක් එම සිංහයාට තිබුණු බවත් කැටපත් පවුරේ ගී සමහරක සඳහන් වේ. මේ මහා සිංහයාගේ කීර්තිය මුථලොව පැතිර ඇතැයි එක් කවියෙක් සඳහන් කරයි. එම සිංහයාගේ ඉදිරි පාද දෙක පමණක් දුටු පමණින් එච්.සී.පී.බෙල් මහතා සිතිජය සිපගනිමින් උතුරට නෙරායන මහා පර්වතය පාමුල අතිෂය ප්‍රතාපවත් ලෙස වැදහොත් මේ සිංහ රාජයා සැතපුම් ගණන් ඈතට විහිදෙන බියමුසු හැගීමක් දැනවූවාට සැක නැතැයි ද කියයි. මේ සිංහයාගේ මුඛය දොරටුව ලෙස යොදාගන්නට ඇතැයි ද සිතිය හැකිය. එයින් ඇතුථ වී හිණිමං නැග ගලමත මග දිගේ ඇතුල් නුවරට යාමට සිදු වන්නට ඇත.


ජල හා වාරිකර්මාන්ත තාක්‍ෂණය

පිට නුවර

සීගිරිය පාමුල ඇති තැනිතලා භූමියේ සිට ගල්පර්වතය වටා තරමක් ක්‍රමයෙන් උස්ව ස්වාභාවිකව පිහිටි දිය අගල් දෙකකින් ද පවුරු දෙකකින් ද ආරක්‍ෂිත ප්‍රදේශය පිටනුවරයි. මෙය කුවේරගේ සංකල්පයට අනුව ප්‍රමදා වනයයි. එහි තැනිතලා භූමියේ ජල උද්‍යානය ප්‍රධාන උද්‍යානය පිහිටා තිබේ. සීගිරිය වටා මාලක ක්‍රමයට මෙන් ක්‍රමයෙන් උස්ව ගල්කුථ සහිතව පිහිටි ප්‍රදේශය ශිලා උද්‍යානයයි. එහිම ගල්පර්වතය පාමුල ලෙන් හා සංඝාරාමද විය.

දිය අගල්

සීගිරි නුවර දිය අගල් දෙකකින් ආරක්‍ෂිතව තිබේ. පිට දිය අගල දැනට මුථමනින් ම වාගේ විනාශ වී ගොස්ය. එය නුවර වටාම තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. ඇතුල් දිය අගල දැනට පැති කිහිපයකින්ම අනාවරණය කරගෙන සංරක්‍ෂණය කර තිබේ. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ දැක්වෙන පරිදි බලකොටු නගරයක් වීමට දිය අගල් තුනක් තිබිය යුතුයි. සීගිරිය බැලූ බැල්මට බලකොටු නගරයක් ලෙස පෙනුනත් එය සැලසුම්කර තිබෙන්නේ ආලකමන්දා රාජධානිය අනුවයි. ඒ නිසා එයට සුවිශේෂත්වයක් හිමි වේ. ඒ නිසා තුන්වෙනි දිය අගලක් සීගිරි නුවර තිබීම අවශ්‍ය නොවන්නට ඇත. එසේ නැතිනම් එය මුථමනින්ම විනාශ වන්නට ඇතැයි සිතීමට ඉඩ තිබේ. දැනට ශේෂව ඇති ආකාරයට අනුව ඇතුල් දිය අගල පිට දිය අගල මෙන් දෙගුණයක් පළල වෙයි. එය ගැඹුරින් ද වැඩිය. නුවර ආරක්‍ෂාව පමණක් නොව අලංකාරයක් ද මහේශාක්‍ය බවක් ද දිය අගල්වලින් ඇති වෙයි.

උද්‍යාන
ජල උද්‍යාන, ශිලා උද්‍යාන , මාලක උද්‍යාන, හා ගල උඩ උද්‍යාන යන නම්වලින් නූතන ලේඛකයන් විසින් හඳුන්වනු ලබන උද්‍යාන පිටනුවර පිහිටා තිබේ. උතුරු පැත්තේ න්‍යයන්ති උද්‍යානය නමින් උද්‍යානයක් වූ බව මහාවංශයේ සඳහන් වේ. එය කාශ්‍යප සංඝයාට පූජා කළ බව ද සඳහන් ය.

ජල උද්‍යාන
ජල උද්‍යානය ද නැවත කොටස් කළ හැකිය. ඒ ජලමල් උද්‍යානය, ක්‍ෂුද්‍ර ජල උද්‍යානය, හා ජල උද්‍යානය වශයෙනි.

            ජල උද්‍යානය
සීගිරියේ බටහිර පැත්තේ මධ්‍යයෙහි ජල උද්‍යාන පිහිටා තිබේ. ජලය මැද දිවයිනක් සහිත ජල උද්‍යාන එයින් ප්‍රධාන තැනක් ගනී. පවුරකින් වට කරන ලද එහි ත්‍රිත්‍ව දොරටුව විධිමත්ව තනා තිබේ.
 විශාල දැව කණුවළවල් එහි ද්වාර මණ්ඩපයක් තිබුණ බවට ලකුණුය. ඊට අමතරව ගඩොල් හා බදාම යොදා තනන ලද ගොඩනැගිලි අවශේෂ වෙයි. ජල උද්‍යානයක් වශයෙන් මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා හඳුන්වන මෙය අනුරාධපුර අභයගිරි විහාරයට බටහිර දෙස තපෝවනයේ ඇති පධානඝර වැනි ගොඩනැගිලි සංකීර්ණයක් විය හැකිය. උථ සෙවිලි කරන ලද වහල සහිත පියසි තිබුණ බවට ද සාදක ලැබී ඇති හෙයින් මෙය පධානඝර වර්ගයට අයත් සේ සැලකීම වඩාත් සාධාරණය.

            ජලමල් උද්‍යානය
ජලමල් සහිත උද්‍යාන ද බටහිර ගමන් මග දෙපස වෙයි. ඉහළ භූමියෙන් ගලාගෙන එන ජලය කාණු දිගේ විත් එක් තැනක දී අවහිරකර මුදුනේ සිදුරු සහිත ගල් පුවරු සවිකර එම සිදුරුවලින් ජලය ඉහළට විදින ලෙස පිළියෙල කොට තිබේ. විශේෂයෙන් වර්ෂා කාලයේ දී ජලමල් ක්‍රියාත්මක වන්නට ඇත. තවත් ජල උද්‍යානයක් තරමක් ඉහළ මට්ටමක පිහිටි මාලයක වෙයි. එහි ඊශාන පැත්තේ කොණේ අටපට්ටම් පොකුණක් වෙයි. එය ප්‍රමාණයෙන් විශාලය. පොකුණ හතර පැත්තේ මණ්ඩප තනා තිබේ. පොකුණේ ජල ක්‍රීඩා නැරඹීමට පැමිණි අය එම මණ්ඩපවල සිට එය නරඹන්නට ඇතැයි සිතිය හැකිය. නැතිනම් ඒවා ස්නාන ගෘහ හෙවත් ධාරා ගෘහ විය හැකිය.



            ක්‍ෂුද්‍ර ජල උද්‍යානය

සීගිරියේ ඇතුථ පවුර ආසන්නයේ ම ඇති ක්‍ෂුද්‍ර ජල උද්‍යානය වූ කලි දිගින් මිටර් 90ක් හා පළලින් මීටර් 30ක් ද වූ බිම් ප්‍රමාණයන්ගෙන් යුක්ත වූ කොටසකි. මෙහි දක්නට ලැබෙන අවශේෂ ප්‍රධාන වශයෙන් කොටස් 05ක් ලෙස හඳුනාගැනීමට පුථවන. පියගැට සහිත මණ්ඩප, ගඩොථ සහ හුණුගල් ඇතිරුම්, දිය රැඳවුම්, පාදම් හා දිය පොකුණු ආදිය මේවා වෙයි. මෙහි එක් කොටසක් බොහෝ දුරට විනාශ වී ගොස් තිබේ. නමුත් සාමාන්‍ය පාදාගැනීම් අනුව කොටස් තුනක් සම්පූර්ණයෙන් ම  පාදාගැනීමට හැකි වී තිබේ.

            L හැඩයේ පොකුණ

දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව ක්‍ෂුද්‍ර ජල උද්‍යානය හා  ජල උද්‍යානය වෙන් කරනු ලබන්නේ පුථල් පවුරක් මගිනි. මේ පවුරෙන් ඇතුථ වීමට දොරටු තුනකින් යුත් අලංකාර වහල්කඩක් තිබී ඇත. සීගිරියටම ආවේණික  වූ ගඩොලමය බොරදම් මේවායේ ද දක්නට ලැබේ. ද්වාරයෙන් ඇතුථ වූ පසු ජල උද්‍යානයේ කැපී පෙනෙන්නේ ආයත චතුරස්‍රාකාර වූ අතිවිශාල ඉංග්‍රීසි  ඛ හැඩයේ පොකුණු සතරකි. ඊට මැදින් වූ චතුරස්‍රාකාර දූපතක සිට සතර දිගටම දිවෙන මාවත් සතරක් වේ. මෙම දූපත තුළ ගොඩනැගිල්ලක් තිබු බවට විශ්වාස කළ හැකි සාදක හමු නොවේ. වටේ ට පිහිටි  ඛ හැඩයේ පොකුණු සැබවින් ම පොකුණු වශයෙන් නොව නාන තඩාග වශයෙන් භාවිතා කරන්නට ඇත. එකිනෙක පොකුණු සම්බන්ධ කරන ජලනළ පද්ධතියක නටබුන් ද මේ අතර වේ. මේ ඛ හැඩයේ පොකුණුවලට ඉහළින් වූ පවුරට පිටතින් භූමියක ගැඹුරු පොකුණු රාශියක් දැකිය හැකි වේ. සමහර ඒවා මීටර් 4ක් තරම් ගැඹුරුය. ඒවා ජලය ගබඩාකර තබා ගැනීම සඳහා භාවිතා කරන්නට ඇත.

ශිලා උද්‍යාන
ජල උද්‍යානය පසු කරමින් ඉහළ මාලක සඳහා ගමන් කරන මාවත මී ළඟට යොමු වන්නේ ශිලා උද්‍යානය වෙතටය. මෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ එහි තැන තැන පිහිටියා වූ ස්වාභාවික ගල්කුථ ප්‍රයෝජනයට ගනිමින් ගොඩනැංවී ඇති මණ්ඩප, ශාලා සහ වෙනත් වාස්තු විද්‍යාත්මක අවශේෂයන් ය. ශිලා උද්‍යානයේ පර්වත මත ගොඩනැගිලි, මන්දිර හෝ මණ්ඩප පිහිටුවීම මෙන්ම පහළින් වූ ගල්ලෙන් පාදක කරගනිමින් ද ගොඩනැගිලි  ඉදි කර තිබේ. අෂ්ට්‍රාකාර ගොඩනැගිල්ලක පැති කිහිපයක් පමණක් ඉදිරියෙන් පෙන්නුම් කර තිබේ.

කැටපත්පවුර

සීගිරියේ බටහිර පැත්තේ ගල්පර්වතයට ළංව උතුරු දෙසට විහිදි මාර්ගයක් හා එය පිටතින් ආවරණය වන පරිදි තනන ලද පවුරක් වෙයි. මෙය කැත්බිත හෙවත් කැටපත් පවුර නමින් හැඳින්වේ. ඉතා උසස් වර්ගයේ බදාම විශේෂයක් යොදා තනන ලද මෙහි කැටපතක මෙන් පිළිබිඹු දැකිය හැකි වීමට ප්‍රමාණවත් වන සේ එකල එය ඔපවත්ව තිබුණ බව වටහාගත හැකිය. සීගිරිය නැරඹීමට පැමිණි අය තම හැගීම් ගී වශයෙන් ලියා තැබූ නිසා එම කවීන්ගේ සිත කැටපත් පවුරේ පිළිබිඹු වන සේ සළකා එය කැටපත් පවුර නමින් ප්‍රසිද්ධ වන්නට ඇතැයි යන්න විචාරක මතයයි. සීගිරි ගලේ ඉහළ බටහිර පැත්තේ චිත්‍රවලින් හිරු බැස යන වෙලාවේ බටහිර අහස තාරකා ළදුන් සමග පිළිබිඹු වන නිසා ද එය කැටපත් පවුරක් සේ සලකන්නට ඇතැයි යන්න තවත් මතයකි.


සීගිරි චිත්‍ර

එකල විහාර ගෙවල්වල මෙන්ම රජවරුන්ගේ මාලිගාවල ද බිත්ති චිත්‍රවලින් සරසා තිබීම දක්නට ලැබෙන ලක්‍ෂණයකි. 11 වන සියවසට අයත් 1වන විජයබා රජුගේ මාලිගාවේ අවශේෂවලින් ද එය තහවරු වේ. සීගිරි පර්වතයේ බටහිර පැත්තේ ඉහළ චිත්‍ර ගැලරියක් දක්නට ලැබේ. කැටපත් පවුරේ ගී කිහිපයක ම සඳහන්වන පරිදි එහි චිත්‍ර 500ක් තිබී ඇත. එහෙත් අද එයින් ශේෂව ඇත්තේ චිත්‍ර 21ක් පමණි. මේ සීගිරි චිත්‍ර ස්වාභාවික හා ශෛලිගත යන සම්ප්‍රදායන් දෙකේම ලක්‍ෂණ පෙන්නුම් කරයි. සීගිරි චිත්‍රවල දක්නට ලැබෙන්නේ ටෙම්පරා ක්‍රමයයි. එය රේඛා සම්ප්‍රදායට අයත් වේ.එනම් ප්‍රථමයෙන් චිත්‍රය රේඛා මගින් සලකුණු කොට පසුව වර්ණ ගැන්වීමයි. මූලික රේඛා රතු හෝ නිල් වර්ණයෙන් වර්ණ ගන්වා ඇති අතර චිත්‍රය වර්ණ ගැන්වීම සඳහා සීමිත වර්ණ සංඛ්‍යාවක් භාවිතා කොට ඇත.  ( රතු, නිල්, කහා. කොළ. දුඹුරු ) මෙහි විශේෂ ලක්‍ෂණය වන්නේ එම චිත්‍ර සියල්ලක් ම කාන්තා රූප වීමයි. මෙම කාන්තා රූප කේවල හා යුගල වශයෙන් දක්වා ඇත. චිත්‍රයට නගා ඇත්තේ ඉඟටියෙන් ඉහළ කොටස පමණක් වීම ද විශේෂ ලක්‍ෂණයකි. සෑම ස්ත්‍රී රුවක් ම වළාකුලකින් මතුවන ආකාරයට දක්වා තිබේ. ශරීය වර්ණාලේප කර ඇත්තේ දෙයාකාරයකිනි. සමහර කාන්තාවන් කහා හෝ රන්වන් වර්ණයෙන් වර්ණ ගන්වා ඇති අතර සමහර කාන්තාවන් නිල් වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. සෑම විටම රන්වන් කාන්තාවන් මල් නෙලන ආකාරයක් හෝ මල් අතේ දරා සිටින ආකාරයක් නිරූපණය කරන අතර නිල්වන් කාන්තාවන් මල් වට්ටියක් රැගෙන සිටින ආකාරයක් නිරූපණය කෙරේ. මේ තත්ත්වය සලකා රන්වන් කාන්තාවන් රාජකුමාරිකාවන් ලෙසත් නිල්වන් කාන්තාවන් සේවකාවන් ලෙසත් හඳුන්වා විචාරකයන් මත පළ කර තිබේ. මෙම සීගිරි චිත්‍ර ඇන්ද වූයේ කාශ්‍යප විසින්යැයි බුද්ධමිත්‍ර තෙරුන් විසින් ලියන ලද ශ්‍රමණ දූත කාව්‍යයේ දැක්වේ. මෙම චිත්‍ර නැරඹීම සඳහා කාශ්‍යප අභාවයට පත් ක්‍රි.ව 495 සිට ජනයාට එහි යා හැකිව තිබුණි. එහෙත් 8 වන ශතවර්ෂය හෝ ඊට ආසන්න පෙර කාලය ( 7 වන ශතවර්ෂය අග භාගය ) වනතුරු චිත්‍ර බැලූ අය ලියූ එකම ගීතයක්වත් සීගිරියේ තවම සොයාගෙන නොමැත. එයින් සනාථ වන්නේ මේ චිත්‍ර කාශ්‍යප විසින් නොව භික්‍ෂුන් වහන්සේලා විසින් කරන ලද බවයි යන්න විචාරක මතයක් පවතී.

මෙම සීගිරි චිත්‍ර සම්බන්ධයෙන් මත කිහිපයක් පවතී.
            පිදුරංගල විහාරයට පුද පිණිස යන බිසෝවරු  ( එච්.සී. පී. බෙල් මහතා - 1897 )
            පූජාවක් සඳහා යන වරඟනෝ  ( වින්සන්ට් ස්මිත් මහතා - 1911 )
            පූජාවක් සඳහා මල් රැගෙන යන දෙවඟනෝය ( බෙන්ජමින් රෝලන්ඩ් මහතා -1938)
            කෛලාසයේ විජ්ජු කුමරියෝ සහා මේඝ ලතාවෝ ( සෙනරත් පරණවිතාන මහතා - 1947)
            කාශ්‍යප රජුගේ මරණය නිසා ශෝකයෙන් වැළපෙන බිසෝවරු (නන්දදේව විජේසේකර -1959)
            දිය කෙළියට යන බිසෝවරු ( මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් )
            අවලෝකිතේශ්වර බෝධිසත්වයින්ගේ යහථ කාන්තාවෝය ( රාජා ද සිල්වා මහතා-1989)
            වලාකුථමත පාවෙන අප්සරාවෝ ( ආනන්ද කුමාරස්වාමි මහතා )
            රාජසභා ස්ත්‍රීන් හා ඔවුන්ගේ පරිචාරිකාවන් ( පී.ඊ.පී. දැරණියගල මහතා )
            කාශ්‍යප රජුගේ දියණියෝ දෙදෙනා ( අබය ආර්යසිංහ මහතා- 2002 )

ආගමික ගොඩනැගිලි

ගල්ලෙන් හැරුනකොට ශිලා උද්‍යානයේ දැකිය හැකි සෙසු ආගමික ගොඩනැගිලි සියල්ල පශ්චාත් කාශ්‍යප අවධියේ ඉදි වූ ඒවායි. ඒ අතර බෝධිඝරය හා දාගැබ් විශේෂ වේ.

චෛත්‍යය
සීගිරිය පර්වතය පාමුල බටහිර දිසාවේ ලෙන් විහාරයකි. මෙම ලෙන් විහාරයට යාර සීයක් පමණ ඈතින් වයඹ දිසාවෙන් චෛත්‍යයක් පිහිටා ඇත. පිහිටි පොළවෙන් අඩි 06ක් පමණ උස් වූ පැත්තක් අඩි අසූවක් දිග සමචතුරස්‍රාකාර වේදිකාවක් මධ්‍යයේ මෙම චෛත්‍යය ගොඩනගා ඇත. මෙහි විෂ්කම්භය අඩි 50කි. නිදහන් හොරු විසින් විනාශ කර දමා ඇති මෙම චෛත්‍යයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අංගයන් කිහිපයක් 1950 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් සොයා ගනු ලැබීය. ඒවා 1951 පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ පාලන වාර්තාවේ සඳහන් වන්නේ පහත ආකාරයටය.

(i)      චෛත්‍යයක හැඩය ගත් ලෝහයෙන් නිම වූ ධාතු කරඩුවක්
(ii)    රෝමන් කාසියක්
(iii)   බුදුරූප තුනක්, කැටයම් කළ කිරිගරුඬ රුවක්
(iv)  බෝධිසත්ව රූප දෙකක් කැටයම් කළ කිරිගරුඬ පුවරුවක්
(v)    සුදුකුඩු වර්ගයක් සමඟ මිශ්‍ර කළ කිරිමැටි පිර වූ කළයක්

තව ද අඟුරු හා පිළිස්සුණු පස් හමු වී ඇත. හමු වූ පුරාවිද්‍යා වස්තුවලින් මෙම චෛත්‍ය සීගිරි කාශ්‍යප රජතුමා ආදාහනය කළ ස්ථානයේ ගොඩනගා ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. මෙම චෛත්‍ය යුග දෙකකට අයිති බවත් , පළමුව ගොඩනගා ඇති චෛත්‍යය සීගිරි යුගයට අයිති බවත් පසුව ක්‍රි.ව 8 වන සියවසේ  දී එය විශාල කර ඇති බවත් එතුමා පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමෙන්තව විසින් අඩි 16ක් උසට මෙම චෛත්‍ය තහවුරු කර ඇත. චෛත්‍යය පිහිටි වේදිකාවට පිවිසීම සඳහා හතර දිසාවෙන් පඩි පෙළවල් හතරකි. පිවිසෙන පඩි පෙළවල් අභියස ශෛලමය ආසන හතරක් ද දැක ගැනීමට පුථවන. පඩිපේළි පාමුල කැටයම් රහිත සඳකඩපහන් ය. දෙපස මුරගල් දෙක බැගින් දැක ගන්නට තිබේ. ස්වාභාවික ගල් කුථක් ද ඇසුරු කරගෙන උස් වූ වේදිකාවක් මත ඉදිකර ඇති සීගිරි ආරමයේ දාගැබ සමකාලීන වෙනත් ආරාමවල දාගැබ් හා සසදන කල්හි ප්‍රමාණයෙන් කුඩා වූවකි.

බෝධිඝරය
කථ ගලින් කළ වටකුරු බැම්මකින් වට වූ ගඩොල් වේදිකාවකින් හා මධ්‍යයයේ වූ ගල් පුවරුවලින් වට කළ සිව්රැස් කොටුවකින් මෙම බෝධිඝරය සමන්විත වේ.

බුදු පිළිම
මෙම ආරාම සංකීර්ණය තුළ පිළිම ගෙයක් ඉදිකර නොමැති අතර ගල්ලෙන ඉදිරියේ වූ කටාරමක් සකස් කොට ඒ සඳහා ප්‍රයෝජනයට ගෙන තිබේ. එහි තිබී හුණු ගලින් කළ කවන්ධ බුදු පිළිමයක් හමු වී තිබේ.

සීගිරියෙන් හමුවන කලා නිර්මාණ

කාන්තා මැටි රූප
සීගිරියෙන් හමුවන කලා කෘති අතර වැදගත්ම නිර්මාණයක් වන්නේ ශිලා උද්‍යානයේ දෙවන මාලකය ආසන්නයේ තිබී හමු වූ මැටියෙන් කරන ලද කාන්තා රූපයන්ය. මෙම රූප සීගිරි සිතුවම්වල කාන්තා රූපයන්ට සමානත්වයක් දක්වයි. ප්‍රමාණයෙන් සෙ.මී.10 සිට 20 අතර ප්‍රමාණවලින් යුතු මෙම රූප මධ්‍යම ඓතිහාසික අවධියට ( ක්‍රි.ව 6-13 ) අයත් සේ සැලකේ. මෙම නිර්මාණ කරන්නට ඇත්තේ බිතුසිතුවම් පිළිබඳ මතකය අවදි කිරීම සඳහා සමරු වශයෙන් ලබාදීමට වන්නය ඇතැයි සේනක බණ්ඩාරනායක මහතා පවසයි.

මැටියෙන් කළ කුථණු හිස්
මැටියෙන් කරන ලද මෙම කුථණුවලින් හමු වී ඇත්තේ හිස් කොටස හා පාදම් කොටස පමණි. මෙම කුථණු හිස්වල ගිනිදථ මෝසතරය, බිනරමල, මල් කිනිති, මල් පොහොට්ටු, පිපුණු මල් ආදිය දක්නට ලැබේ. මේවායෙන් බෙහෙවින් අලංකාර කරන ලද හිස කොටස බිත්තියකට එකතු කිරීම සඳහා ඉදිරිපසින් පමණක් කැටයම් කරඇත. මේ නිසා පිටුපස කොටස රථ ස්වභාවයක් ගනී. මැටියෙන්  කළ කුථණු හිස්වලට අමතරව හුණුගලින් කළ කුථණු හිසක් ද හමු වී තිබේ.

කුණ්ඩලාභරණය
සීගිරියෙන් හමු වන්නට ඇතැයි විශ්වාස කරන අලංකාර කුණ්ඩලාභරණයක් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. පැහැදිලි වශයෙන් ම මෙය රාජකීය කාන්තාවක විසින් පළඳින බව පෙනේ. එසේ ම මෙහා නිර්මාණාත්මක හා කලාත්මක ස්වරූපය අනුව අනුරාධපුර අගභාගයට අයත් වූවක් ලෙස සැලකේ. සීගිරි සිතුවම්වල දක්නට නොලැබෙන කර්ණාභරණයක් වන මෙය රන් හා මැණික්ගල් භාවිතයෙන් නිර්මාණය වූවකි.


පබථ වර්ග
සීගිරියෙන් හමු වී ඇති පබථ වර්ග සෙරමික් ,ඛනිජ සහා වීදුරු වශයෙන් වෙන් කළ හැකිය. මේ සියලුම පබථ කදිම නිමාවකින් යුක්තය. ක්‍රිස්ටට්, ඇඹතේස්, තිරිවානා ආදියෙන් නිම වූ පබථ හමු වී ඇතැත් මේවා සීගිරියේ දී නිෂ්පාදනය කර ඇතැයි සාදක ඉදිරිපත් වී නොමැත.

මැටි බඳුන්
සීගිරියෙන් දැනට හමු වී ඇති මැටි බඳුන් රාශියකි. ඒවායේ වයනය හා සංයුතිය අනුව විවිධ වර්ගවලට ලක් කළ හැකිය. මුල්ම ජනාවාස අවධියට අයත්වන කාල රක්තවර්ණ මැටි බඳුන් හමුවීම සීගිරි ඉතිහාසය බොහෝ ඈතට ගෙන යනු ලබයි. මේවා ක්‍රි.පූ 800 සිට ක්‍රි.ව 3 වන සියවස දක්වා ලංකාවේ බහුලව භාවිතා කළ මැටි බඳුන් විශේෂයකි.


සමාලෝචනය

සීගිරිය යනු සැබවින් ම විශ්මිත නිර්මාණයකි. එය ලෝකයේ අටවෙනි පුදුමය බවට පත්වීම පිළිබඳ පුදුමයක් ඇති නොවන්නේ එහි පුරාවිද්‍යාත්මක අගයන් පිරික්‍ෂා බැලීමෙනි. සීගිරිය සතු වූ මෙම ඓතිහාසික අගයන් මෙන් ම පුරාවිද්‍යාත්මක අගය ගැන විමසිලිමත් වන විට ශ්‍රී ලාංකිකයෙකු ලෙස සාඩම්භර හැගීමක් ද ඇති වේ. එමෙන් ම මේ සා අලංකාර හා විශ්මය එළවන සුථ නිර්මාණයක් කළ අයෙකු පීතෘ ඝාතකයෙකු විය හැකි ද යන සාධාරණ ප්‍රශ්නයක් ද ඇති වේ. ඇත්තටම සීගිරි කාශ්‍යප පීතෘ ඝාතකයෙක් ද ? ඔහු පීතෘ ඝාතකයෙකු නම් ප්‍රභූ, පැවදි, හා සාමාන්‍ය ජනතාව තුළ ඔහු අප්‍රසාදයට පත් නොවුනේ ද ? එලෙස අප්‍රසාදයට පත් වූයේ නම් ඔහු මෙවැනි දැවැන්ත නිර්මාණයක් කරන්නේ කෙසේ ද ? වසර 18 ක් තරම් කෙටි කාල පරිච්ජේදයක දී ඉතා සුථ පිරිසකගේ සහාභාගිත්වයෙන් පමණක් මෙවැනි දැවැන්ත නිර්මාණයක් කළ හැකි ද ? යන ප්‍රශ්න රාශියකට පිළිතුරු සොයාගැනීමට වෙහෙසීමට ද සිදු විය. අවසාන වශයෙන් කිව හැක්කේ ඔහු පීතෘ ඝාතකයෙකු ලෙස මහාවංශයේ සඳහන් වෙතත් ඔහුට ආදරය කළ විශාල පිරිසක් මෙරට සිටිය බවයි. මුගලන් රාජ්‍යත්වයට පත් වූ පසු කාශ්‍යපට පක්‍ෂව සිටි දහස් ගණනක් විනාශයට පත් කළ බව සඳහන් වීමෙන් ද මතුවන කාරණය වන්නේ එයයි. වැදගත් ම කාරණය වන්නේ ඔහු පීතෘ ඝාතකයෙකු ද යන්න සොයාගැනීම නොව ඔහු සතුව පැවති මනා ශිල්පීය ඥානය කෙතරම් ද යන්න වටහා ගැනීමයි.




ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

a.       අබේරත්න බණ්ඩා අබේසිංහ, සීගිරි බිතුසිතුවම්, ( 2000 ) , ඇම්. ඩී. ගුණසේන සහ සමාගම.
b.      අමරසිංහ මාලිංග, ශ්‍රී ලංකාවේ පුරාණ රජ මාලිගා, (2003), ජා ඇල: සමන්ති පොත් ප්‍රකාශකයෝ.
c.       අමරසිංහ මාලිංග, සීගිරිය ලෝක උරුමයක වගතුග,
d.      පෙරේරා ප්‍රශාන්ත, ගිරි බිතෙහි ගී,
e.      බණ්ඩාරනායක සේනක (සංස්:),  සීගිරිය ව්‍යාපෘතිය, (1982) , කොළඹ: සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
f.        වික්‍රමගමගේ චන්ද්‍රා, කාශ්‍යප රජුගේ සීගිරි ආලකමන්දාව, (2005) ,කර්තෘ ප්‍රකාශන.
g.       ලොකුබණ්ඩාර වි.ජ.මු , සීගිරි ගී සිරි , (2002 ), ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.






9 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්, සෑහෙන්න දේවල් දැනගත්තා

    ReplyDelete
  2. සුපිරිසැ
    හෙන දෙයක් මේ තුලින් දැන ගත්තා...

    ReplyDelete
  3. ගොඩක් තොරතුරු දැනගත්තා very very thank you

    ReplyDelete