Tuesday, September 10, 2013

නිදහස



නිදහස



( වේදිකාව මත නිදන ඇඳකි. එහි තරුණියක් නිදාගෙන සිටියි. හදිසියේම ඇය සිහිනයෙන් මෙන් කියවන්නට පටන් ගනී. ඇය නමින් පූර්ණිමාය. )

පූර්ණිමා - එපා...... එපා...... විකුණන්න එපා
           බෑ....... බෑ....... ඒකට ඉඩදෙන්න බැහැ

( මේ ශබ්දය ඇසෙන යාබද කාමරයේ සිටින ඇගේ මිතුරියන් දෙදෙනෙක් සෙමින් දොර විවෘත කරමින් ඇය දෙස බලයි. එකියක් අනෙකාට රහසින් මෙන් මෙසේ පවසයි. )
වත්සලා - මොකක් හරි හීනයක් දකින්න ඇති මගේ හිතේ.
මදුවන්ති - ෂ්......ශබ්ද කරන්න එපා...  තව මොනවද කියන්නේ කියලා අහගෙන ඉමු.
පූර්ණිමා - යකෝ මේකද නිදහස කියන්නේ ?

 ( ඇය වියරුවෙන් මෙන් හදිසියේ ම එකවර නැඟිටියි. අසල තිබූ කුඩා පිහියක් අතට ගෙන එය දික්කරමින් මෙසේ කෑ ගසයි. ) ( ඇය තනියම කියවයි )
පූර්ණිමා - දහස් ගණන් මිනිස්සු කඳවුරුවල දුක් විදිනවා. වැටිලා ඉන්න පැල් කොටයක් හරි තිබුණ
          එවුන්ට අද ඒකත් අහිමි වෙලා. පාරක යන්න බැහැ හිඟන්නො හැම තැනම. ඒ විතරක් ද
        පෙරේතයෝ ,පිසාචයෝ, කුම්භාණ්ඩයෝ හැමතැනම අරක් ගෙන. වේලක් හැර වේලක් හරි
       කාපු අහිංසකයින්ට අද ඒකත් නැතිවෙලා.

වත්සලා - මොකද බං කෑ ගහන්නේ අපි නිදාගන්නැද්ද ?  යකෝ නිදහසේ නිඳාගන්නවත් නෑනේ.

පූර්ණිමා - ( ඇය දෙස පුදුමයෙන් මෙන් බලා ) නිදාගන්න....  (සිනාසෙමින් ) හිඃ ... හිඃ නිදාගන්න ?
( තරහයෙන් ඇය දෙසට ඇඟිල්ල දිඟු කරමින් )
           තොපිලා කවද වෙනකම් නිදාගන්නද ? කුම්භ පරම්පරාවෙන් පැවත එන උඹලට
           නිදා ගන්නවට වඩා දෙයක් නැහැ. උඹලා කවදද ඇහැරලා ඉන්නේ ? රෑ තිස්පැයක්
           නිදිවරාගෙන මේ රටට වෙන්න යන විපැත්තිය ගැන කල්පනා කරන මගේ හිතේ
           තියෙන හැඟීමෙන් අටෙන් එකක්වත් උඹලට නැත්තේ ඇයි මං අහන්නේ ? ඇයි උඹලට
         තේරෙන්නේ නැත්තේ ? ඇයි නිදහස වෙනුවෙන් උඹලා සටන් වදින්නේ නැත්තේ ?

මදුවන්ති - උඹට පිස්සු ද බං අපි මුලින්ම නිදහස ගත්තේ 1948 අවුරුද්දේ. ඊට පස්සේ වසර 30  යුද්ධය නිමාකරලා 2009-05-18 දිනත් නිදහස ලබාගත්තා.

පූර්ණිමා - ඒත් අපි චින්තනයෙන් තාම නිදහස්වෙලා නැහැ. අපි තාම හිතන්නේ බටහිර තාලෙට.
           අපේ භාෂාව , ඇඳුම -පැළඳුම, ගමන-බිමන, මේ හැම එකකම තියෙන්නේ මිලෙච්ඡ වූ
           වහල් ස්වභාවයක්. අපේ ගැති බව තාමත් අපෙන් ඉවත් වෙලා නැහැ. පරබසට රුචිකරන
          අපි ඇටි හැලෙන්න කඩ්ඩ වනනවා. දවසේ කෑම වේලට ඉංග්‍රීසි කෑමක් බීමක් නැති
          වුණොත් ඒක ලොකු අඩුවක් වගේ. දැන් බලපන් අපේ කෙල්ලෝ දිහා කියෙන් කී දෙනා ද
         උදේට බත් කන්නේ කියලා. එක්කො රෝල්ස් එකක් එක්කො රොටියක් කකා කැජඑමරු
         දුවනවා.

වත්සලා- ඉතිං උඹත් කරන්නේ ඕකමනේ ?

පූර්ණිමා - ( හිස වනා පිළිගනිමින් ) ඔව් මමත් කරන්නේ ඒකම තමයි. ඒකටත් හේතුවක් තියෙනවා.  මොකද බහුතරයක් කෙල්ලෝ කොල්ලෝ කරන දේවල් මම නොකෙරුවොත්  උන් මට හිනාවේවි. මාව කොන්කරාවි.  ඒකයි මං උඹලට කිව්වේ අපි මේ පද්ධතිය වෙනස් කරමු කියලා. තනි මට විතරක් ඒක කරන්න බැහැ.
( වේදිකාව පිටුපසින් එකවරම විශාල ශබ්දයක් ඇසේ. එය බෝම්බයක් පිපිරෙන්නාක් වැනි හඬකි.)

මදුවන්ති - මොකක් ද ඒ ශබ්දය ?
පූර්ණිමා - ෂ්...... කෑ ගහන්න එපා... ( රහසක් කියන්නාක් මෙන් පවසයි ) අද හවස හිටපු ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියෙක් අතුරුදහන් කරලා. සමහරවිට හෙට උදේම රට පුරාම ඇඳිරි නීතිය පනවයි.
වත්සලා -   ( ඇය කියූ දෙයට බිය වී ) අනේ ඔය හීනෙන් කියවන එක නතර කරපන් පූර්ණිමා. නැත්නම් දවසක උඹ කියවන ඒවා අහන් ඉඳලා පොළිසියෙන් අපි දෙන්නවත් අල්ලන් යයි. හොඳ වෙලාවට බෝඩිමේ ඇන්ටි උඹට වෙනම කාමරයක් දුන්නේ.
( ඒත් සමඟම දුරකථනය නාද වෙයි. )
පූර්ණිමා - ෂ්...... ශබ්ද කරන්න එපා බෝම්බයක් ද දන්නෑ.
මදුවන්ති - තවත් පැහැර ගැනීමක් ද දන්නෑ.
පූර්ණිමා - ( දුරකථනයට ඇඟිල්ල දිඟු කරමින් නැවතත් මුව වසා මුවට ඇඟිල්ල තබමින් )
            ඇහෙයි .... ඇහෙයි...
වත්සලා -  ( පුදුමයෙන් මෙන් ) ඇහෙන්නේ කොහොම ද පූර්ණිමා ? රිසිවරය උත්සලා නෑනේ ?
පූර්ණිමා - ( යමක් කල්පනා වූ පරිද්දෙන් ) ආ..... ඔව් මට ඒක අමතක වුණා.
( ඒත් සමඟම තවත් තරුණියක් දුවගෙන එයි. ඇය හතිලමින් මෙසේ කියයි. )

           නවත්තපල්ලා....නවත්තපල්ලා.... උඹලගේ ඔය රඟපෑම නවත්තපල්ලා...ඕක බොරු මහන්සියක් විතරයි. අන්න ගිය සතියේ රියසල් කරලා වේඳිකාවට දමපු කමල්ලගේ නාට්‍යයට වාරණ නියෝගයක් පනවලා. ඕක තමයි අද රටේ නිදහස.

පූර්ණිමා -  ඒකත් එහෙම ද ? එහෙනම් ඉතිං දැන් හැමෝම ගෙවල්වල යමල්ලා.
වත්සලා - අපරාදේ අපේ මහන්සිය.
මදුවන්ති  -ඒක තමයි.
( සියල්ලොම වේදිකාවෙන් පිටව යති. )






                                                     ඩබ්ලිව්.එම්. රුවිනි අනුරුද්ධිකා
                                                      සිංහල අධ්‍යනාංශය
                                                       සිව්වන වසර

No comments:

Post a Comment