හැඳින්වීම
(අ)
මාතෘකාව
වසර දෙදහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාවේ
බොදුනුවන් තම ශාස්තෘන් වහන්සේ කෙරෙහි අපමණ වූ අනන්ත වූ නිරන්තර බැතියෙන් ‛‛ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ’’ යනාදී වශයෙන් පාරිශුද්ධ බුදුගුණ සමුදාය සුපසන්
සැනසුම් රිද්මයකට ගායනීය ස්වරයෙන් කීවද බොදු ගීතයේ ආරම්භය සිදුවූයේ විසිවෙනි
සියවසේ මුල් භාගයේ යැයි සිතිය හැකි ය.
අද දක්වා විකාශනය වී ඇති සිරිලක බොදු ගී කලාවේ
ඉතිහාසය ගවේෂණය කරන කවරකුට වුවද විසිවෙනි සියවසේ පළමු දශකයේ මැදභාගය දක්වා
පුනරාවලෝකනය කරන්නට සිදුවෙයි. එකල විවිධ ගී මෙන්ම බෞද්ධ පසුබිම මාතෘකා කරගත් ගී
ගැයූ ගායක අතලොස්සක් හෝ සිටින්නට ඇතැයි සැලකිය හැකි වුවද නූර්ති ගී කලාවත් සමඟ 1906 පමණ ඇරඹි ග්‍රුමෆෝන් යුගයට සමගාමීව බොදු ගී
ගායනා ප්‍රචලිත වූ බව කිව හැකි ය. සංයමයකින් තොරව භාවිතා කළ උත්තර භාරතීය
මෙන්ම දක්ෂිණ භාරතීය සංගීතයද මෙම බොදු ගී
බිහිවීමට ගුරු වූ බව එම ගී ශ්‍රවණය කරන කල්හී වැටහෙයි. රළු සංගීතය අසංයම ගැයුම්
අක්‍රමවත් අවියත් පද බැදුම් වූ මෙම ගී කලින් කල බොදු ජනතාව අතර මනාපයට පත්වුව ද
ශාන්තිදායක බුදු පියානන් වහන්සේ දෙසා වදාළ නිර්මල නිසංසල අමා දම් රසයේ නිවී සැනසෙන
සන්සුන් ගැඹුර මේ තුළින් වහනය වී යැයි කීම උගහටය.
සිංහල බොදු ගී කලාවේ ව්‍යක්ත භාෂා භාවිතයෙන්
අර්ථවත් වූ ස්වතන්ත්‍ර තනු හා සංයෝගී සමාහිත සංගීතය සංයෝජන ආශ්‍රිතව බුදු දහමෙන්,
බුදුගුණයෙන් බොදු පරිසරයෙන් පළවෙන ශාන්තිදායක
සිසිල් ගුණය නොඅඩුව දනවන ගී බිහිවන්නේ 1960 දශකයන් සමගමය. මෙකල බුදු ගුණ, බුදු දහම එහි පරිසරය හා බෞද්ධ දර්ශනය විමර්ශනාත්මක විඳීම ඔස්සේ
සුපෝෂිත පුළුල් චින්තන ධාරාවන්ගේ අපූර්ව කලඑළි දැක්වීම් බොහෝ බොදු ගී මගින් පරිණත
ගීත නිබන්ධකයන්ගේ නිර්මාණ ලෙසද විපුල සංගීත ශාස්ත්‍රෝද්ග්‍රහණයෙන් යුතු සංගීත හා
ගායනවේදීන්ගේ සුභාවිත ගැයුම් ලෙස ද ශ්‍රාවක ලෝකයට දායාද වී තිබීම සතුටකි.
හැටේ දශකයේ බොදු ගී නව ආකල්ප සහිත පුනරුදයක්
සමග සුභාවිත හා ජනප්‍රිය රටාවකින් ගුවන් විදුලි මාධ්‍යය පුරාත් සිනමා මාධ්‍යය
පුරාත් විසිරී යන බව පෙනී යයි. මෙහි දී අපගේ අධ්‍යයනයට බදුන් වන්නේ එකී බොදු ගී
තුළින් නිරූපිත බෞද්ධ සංකල්පයන් පිළිබඳ විමසීමක යෙදීමයි. එම අධ්‍යයනය සිදුවන්නේ
වික්ටර් රත්නායකයන් ගායනා කර ඇති ගී වලින් තෝරා ගත් ගී කීපයක් ඇසුරිනි. එම තොරාගත්
ගීතයන් පමණක් අධ්‍යයනය සඳහා අවශ්‍ය තර්කයන් සනාත කරනු වස් යොදා ගැනේ.
මේ සඳහා පදරචකයෙක් තෝරා නොගෙන ගායකයෙකු වන
වික්ටර් රත්නායකයන් තෝරා ගැනීමට අපව පෙළඹවූ හේතුවක් වනුයේ වැඩිම බොදු ගීත සංඛ්‍යාවක්
ගායනා කර ඇති ගායකයකු වශයෙන් ඔහු දරා ඇති ප්‍රසිද්ධියයි. පදරචකයෙකු තෝරා ගනු
ලැබුවද එවන්නකු තුළ මෙවැනි ගීත දෙක තුනකට වඩා තිබේ යැයි සිතිය නොහැකි නිසාත් අවශ්‍ය
ගීත එකතුවක් ලබා ගැනීමට ගායකයෙකු තෝරා ගැනීම තුළින් පහසුවෙන් සිදු කළ හැකි නිසාත්
අප විසින් වික්ටර් රත්නායකයන් තෝරා ගත් බව මෙහි දී සඳහන් කළ යුතුව ඇත. ගායකයකු
වශයෙන් වික්ටර් රත්නායකයන්ගේ ගීතවල දක්නට ලැබෙන සංගීතය, තනු නිර්මාණය, නාද රටා, රිද්ම රටා යනාදිය අපගේ අවධානයට ලක්නොවන අතර එහි පදරචනය ඔස්සේ පමණක්
අපගේ අධ්‍යයන වපසරිය විහිදී පවතින බව පැවසිය යුතුය.
(ආ) පර්යේෂණයේ පසුබිම හා සන්දර්භය
වික්ටර් රත්නායකයන් ගැයු ගීත තුළින් නිරූපණය වනු බෞද්ධ සංකල්ප යන
මාතෘකාව ඔස්සේ සිදුවන නිබන්ධයේ සන්දර්භය
නැතිනම් අන්තර්ගතය පිළිබඳ කරුණු දැක්ව්මේ දී මෙම නිබන්ධය ඔස්සේ අප ඉදිරිපත් කිරිමට
බලාපොරොත්තු වන්නේ කිනම් කරුණ ද යන්න මෙහිදී සැකෙවින් විස්තර කෙරෙයි. මෙම අධ්‍යයනය
මුඑමනින්ම සිදුවන්නේ වික්ටර් රත්නායකයන්ගේ තෝරාගත් ගීත කිහිපයක් ඇසුරෙනි. ඔහුගේ
ගීත ප්‍රාථමික මුලාශ්‍ර වශයෙන් යොදාගනිමින් කරුණු විග්‍රහ කිරීම ඒ අනුව සිදු වේ.
මුලික වශයෙන්ම
බෞද්ධ සංකල්පයන් පිළිබඳව ත්‍රිපිටක සුත්‍රාදියේ දැක්වෙන කරුණු විග්‍රහ කරමින් මෙම
නිබන්ධයට ප්‍රවේශයක් සකසා ගැනීම සිදු වේ. ත්‍රිපිටක සුත්‍රාදියේ දැක්වෙන එම විග්‍රහයන්
මෙම අධ්‍යයනයේ සංකල්පීය පදනම වෙයි. මෙම සංකල්ප මත පිහිටමින් වික්ටර් රත්නායකයන්ගේ
ගීත තුළ අන්තර්ගත බෞද්ධ සංකල්ප කවර දිශනතියකට ගමන් කරයි ද යන්න විමසීම අපගේ
බලාපොරොත්තුවයි.
බෞද්ධ
සංකල්පයන් පිළිබඳව වන ඉහත ත්‍රිපිටක සුත්‍රාදී අර්ථ දැක්විම් වලින් අනතුරුව බෞද්ධ
ගීතය නුතනය තෙක් පැමිණි ගමන් මග තුළ හමුවන සුවිශේෂී සන්ධිස්ථානයන් (නුර්ති නාඩගම්
ග්‍රාමෆෝන් ආදි යුගයන් තුළ) පිළිබඳ විග්‍රහයක් කිරිම අරමුණු වේ. මෙහිද්ී බුද්ධ
භාෂිත ප්‍රකාශනයන් මෙන්ම සියබස්ලකර කතුවරයාගේ මග පෙන්වීම යන කරුණු ගීතයට බලපැම් කළ
අයුරු පිළිබඳව වන සංක්‍ෂිප්ත විස්තරයන්
මෙහිදී සිදුවේ. ඒ අනුව මහා කාව්‍ය, ඛන්ඩ
කාව්‍ය , සන්දේශ කාව්‍ය, නාට්‍ය, ගීතය යනාදි නිර්මාණයන් සඳහා බෞද්ධාගමික බලපෑම සිදු වු ආකාරය පිළිබඳව
යම් විමසීමක් සිදු කෙරේ.
ඊළඟට විස්තර
වන්නේ වික්ටර් රත්නායකයන්ගේ ආගමනය පිළිබඳව වන සංක්‍ෂිප්ත විස්තරයකි. 70 දශකයේ ඔහු ඉදිරියට එන ආකාරය අමරදේව, නන්දාමාලනී වැනි සමකාලිනයන් අතර වික්ටර්ට හිමි
ස්ථානය හා බොදු ගී ගායකයකු ලෙස ඔහුගේ ඇති සුවිශේෂි අනන්‍යතාවය වැනි සංක්‍ෂිප්ත විවරණයක් මෙහිදි සැපයේ.
එයින් අනතුරුව
අධ්‍යයනයේ ප්‍රධාන මාතෘකාව සංවාදයකට බදුන් කිරීම විස්තීර්ණ ලෙස සිදු වේ.මේ යටතේ
මූලිකවම වික්ටර් රත්නායකයන් ගායනා කරන ලද ගී වල වස්තු විෂය විමසීම, ඒ තුළින් බෞද්ධ සංකල්පයන් හඳුනාගැනීම, එම සංකල්පයන් සමාජයේ කවර සන්දර්භයක් හා බැදී
පවතීද යන්න විග්‍රාහාත්මක විමසුමක් සිදුකිරීම අරමුණයි. එමෙන්ම වික්ටර් රත්නායකයන්ට
ගී පද සැපයූ ගී පද රචකයන් පිළිබඳව වන කෙටි විස්තරයක්ද මෙයට ඇතුළත් වේ. එහිදී ඔවුන්
ස්වකීය නිර්මාණයන් තුළ බෞද්ධ සංකල්පයන්ට කිනම් අවකාශයක් හිමිකර දී තිබේද? ඔවුන්ගේ නිර්මාණයන් තුළ වන දෘෂ්ටිමය විශේෂතා
මොනවාද යන්න අධ්‍යනය කිරීමත් සිදු වේ. එහිදී බෞද්ධ සංකල්පයන් පිළිබඳව වන ඔවුන්ගේ
අර්ථ දැක්වීම් කෙතරම් දුරට සත්‍යද, නොඑසේ
නම් ඔවුනොවුන්ට හුරු වූ සුවිශේෂී තලයක පිහිටා එය සිදුකර තිබේද යන්න විමසුමට ලක්
කිරීමට අපේක්‍ෂිතය. මේ ඔස්සේ යමින් අවසාන වශයෙන් සොයා බැලීමට අපේක්‍ෂා කරන්නේ
වික්ටර් රත්නාකයන්ගේ ගීත තුළින් නිරූපිත බෞද්ධ සංකල්පයන් මොනවාද යන්නයි.
නිබන්ධනයේ අන්තර්ගත කාරණා පිළිබඳ කරුණු සංක්‍ෂිප්ත
ලෙස මේසේ දැක්විය හැකි අතර මෙවන් මාතෘකාවක් අපගේ නිබන්ධනය සිදු කිරීම සඳහා තෝරා
ගැනීමට පසුබිම් වූ කාරණා මොනවාද යන්න දැක්වීමද වැදගත් වේ.
නූතන සිංහල ගීත ක්‍ෂේත්‍රයට මෙන්ම බුදුදහමට
දක්වන දැඩි උනන්දුව හා රුචිකත්වය හේතු කොටගෙන මෙම සංසිද්ධීන් දෙකේ පවත්නා
සම්බන්ධතාවය පිළබඳ ශාස්ත්‍රීය තලයක පිහිටා අධ්‍යයනයක් කිරීමට තිබූ ආශාව මෙන්ම ඒ
සඳහා පසුබිම සැකසූ සිංහල විශේෂ උපාධි අවසන් වසර උපාධි නිබන්ධනය මෙවැනි මාතෘකාවක්
තෝරා ගැනීමට මා පෙළඹවූ එක් හේතුවක් විය.
එමෙන්ම ගීතය, නැටුම, කවිය හා නාට්‍යය යන සෑම කලා නිර්මාණයක්
විෂයෙහිලාම බුදු දහම තීරණාත්මක බලපෑමක් කලා යැයි සාක්‍ෂි සපයන ඉතිහාසය තුළ එය
ගීතයට කුමන බලපෑමක් කළේද යන්න සොයා බැලීමට කුතුහලයක් ඇතිවීමද මෙවැනි අධ්‍යයන
මාතෘකාවක් තෝරා ගැනීිමට හේතු විය.
රසවින්දන තලයෙන් ඔබ්බට ගොස් ශාස්ත්‍රීය වශයෙන්
මේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සිදුකිරීම තුළින් එහි ශාස්ත්‍රීය මුහුණුවර හඳුනා
ගනිමින් සාහිත්‍ය ක්‍ෂේත්‍රයට අර්ථවත් යමක් දායාද කිරීමටත් අපගේ දැනුම වර්ධනය කර
ගැනීමට අවශ්‍ය වීමත් තවත් හේතුවක් බවට පත් විය.
පෞද්ගලික වශයෙන් මෙම මාතෘකාව තෝරාගැනීම කෙරෙහි
එකී කරුණු හේතු වූ අතර ශාස්ත්‍රීය වශයෙන් ඊට ප්‍රබල ලෙසම පසුබිම් වූයේ වැඩිමනක්
බොදු ගීත ගායනා කර ඇති ගායකයෙක් වශයෙන් වික්ටර් රත්නායක ප්‍රසිද්ධව ඇතිමුත් තවමත්
ඔහුගේ බොදු ගී කලාවට ශාස්ත්‍රීය වශයෙන් සාධාරණයක් ඉටු වී නොතිබීමයි. වික්ටර්
රත්නායකගේ සමස්ත නිර්මාණයන්ම අළලා සම්පාදිත ග්‍රන්ථ දක්නට ලැබුණ ද ඔහුගේ බොදු ගී
විෂයෙහි පමණක් සිදුකරන ලද ග්‍රන්ථයක් හමු නොවීය. එය එක්තරා අයුරකින් මෙම අධ්‍යනය
සිදු කිරීමට නිදහස් මානසිකත්වයක් ඉදිකල අතර එය මෙවැනි මාතෘකාවක් තෝරා ගැනීමට
බලපෑම් කරන ලද ශාස්ත්‍රීය හේතුවක් විය.
ගැටලුව
(අ) අධ්‍යයනයේ
වැදගත්කම හා මාතෘකාව තෝරා ගැනීමට හේතු
‛‛විකටර් රත්නායකයන්ගේ ගී වලින් නිරූපණය වන බෞද්ධ
සංකල්ප’’ යන මාතෘකාව මෙම අවසන් වසර නිබන්ධනයේ
අධ්‍යයන මාතෘකා වශයෙන් තෝරා ගැනීමට පාදක වූ හේතු කාරණාත් මෙම අධ්‍යයනයේ වැදගත්කමත්
පිළිබඳව සැකෙවින් හැදින්වීමක් මෙහිදි සිදුවේ.
සම්භාව්‍ය සිංහල කාව්‍යයට තේමා සැපයූවේ ‛පෙදෙන් බුදු සිරිතැ’ යන සියබස්ලකර ඉගැන්වීම් ඔස්සේය. එම තත්වය ක්‍රමාණුකූලව ගීතයටද බලපෑම්
කරනු ලැබීය. නමුත් මෙම තත්වය මාතර යුගයේ දී වෙනස් වූ අතර කාව්‍යයේ මෙන්ම ගීතයේ ද
වස්තු විෂය වෙනස් මුහුණු වරක් ගනු ලැබීය. ඒ අනුව සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතිමය සංදර්භයන් හා
සංයෝග කරමින් කවිය මෙන්ම ගීතයද වඩාත් යථාර්ථවාදී හා ගැඹුරු ජීවන දෘෂ්ටියකින්
ඉදිරිපත් විය. ඒ අනුව ගීතය සමාජ ප්‍රකාශනයක් බවට ද පත් විය. මාතර යුගයෙන් ලද මේ
පිටුබලයද සමග විසිවන සියවස වන විට කිසියම් ප්‍රගතිශීලී බවකින් අනූනව සාහිත්‍ය හිස
ඔසවනු ලැබීය.
එහෙත් මාතර යුගයට එන තෙක්ම ගීතයට බලපෑම් කලා වූ
සියබස්ලකර කතුවරයාගේ මඟ පෙන්වීම නූතන ගීතය තුළින් ද සම්පූර්ණයෙන් ම ඉවත්ව ගොස්
නොමැති බවක් පෙනේ. ඒ අනුව නූතනයේ බුද්ධභාෂිත ප්‍රකාශනයන් මුල් කරගනිමින් රචිත ග්‍රන්ථ
ගේය පද රචනා මෙන්ම එවැනි ගීතයන් ගායනා කරන ගායකයන්ද මුණ ගැසේ.
මෙම පසුබිම තුළ නූතන සිංහල ගීතයෙන් තවමත් බෞද්ධ
සංකල්පයන් ද නිරූපණය වනවා ද යන්න සොයා බැලීම අධ්‍යයන වශයෙන් වැදගත් වන්නකි.
නිබන්ධනයේ වැදගත්කම පිළිබඳ කාරණා මෙසේ දැක්විය
හැකි අතර මෙවැනි මාතෘකාවක් තෝරා ගැනීමට පලපෑම් කළා වූ හේතු කාරණා මොනවාද යන්න
පිළිබඳව පර්යේෂණ පසුබිම හා සන්දර්භය යන ප්‍රස්තුතය යටතේ දක්වන ලද විස්තරයේ දී
සඳහන් කරන ලදී.
මෙම කරුණු මත පදනම් ව සිදු කරන අපගේ අධ්‍යයනයේ
දී අවධානයට ලක්වන ප්‍රධාන පර්යේෂණ ගැටලු කීපයකි.
(ආ) අධ්‍යයනය හා සම්බන්ධ ගැටලු
01. බුදු දහමෙන් නිරූපිත බෞද්ධ සංකල්ප
මොනවාද ?
02. වික්ටර් රත්නායකයන් ගායනා කරන ලද ගීතවල
වස්තු විෂයෙහි ලා බෞද්ධ සංකල්පයන්ට කිනම්
අවකාශයක් හිමිව තිබේ ද ?
03. එම සංකල්පයන් සමාජයේ කවර පැතිකඩයන්
නිරූපණය සඳහා යොදා ගෙන තිබේද ?
04. එම සංකල්පයන් සමාජ කථනයන් හා කෙතෙක්
දුරට තුලනය වේද ?
(ඈ) අධ්‍යයනයේ සීමාවන්
අපගේ මෙම අධ්‍යයනය හා බැදුනු සීමාවන් කීපයක් ම
පවතී. ‛‛වික්ටර් රත්නායකයන් ගැයූ ගීත වලින්
නිරූපණය වන බෞද්ධ සංකල්ප’’ ලෙස මෙහි තේමාව යොදාගෙන ඇතත් මෙයින්
අර්ථවත් වන්නේ ඔහු ගායනා කරන ලද සමස්ත ගීතයන් ප්‍රමාණයම නොවේ. එය සිදුවන්නේ ඔහුගේ
තෝරාගත් ගීතයන් කීපයක් තුළින් පමණී. එය අපගේ අධ්‍යයනය සම්බන්ධයෙන් වන ප්‍රධානතම
සීමාවයි. එමෙන්ම මාතෘකාවට අදාළව මෙහිදී සිදුකරනුයේ වික්ටර් රත්නායකයන්ගේ ගීතවල
අන්තර්ගත බෞද්ධ සංකල්පයන් පිළිබද විවරණයක් පමණී. ඉන් ඔබ්බට ගොස් ඔහුගේ සංගීතය,
තනු නිර්මාණය, රිද්ම රටා, නාද රටා යනාදිය පිළිබද මෙන්ම භාෂාව,
අලංකාර භාවිතාවන් හා ආකෘතිකමය සුවිශේෂතා
සම්බන්ධයෙන් වන විවරණයක් සැපයෙන්නේ නොමැත. මෙයද මෙම නිබන්ධනය සම්බන්ධයෙන් වන අධ්‍යයන
සීමාවකි.
ඒ අනුව අපගේ මෙම අධ්‍යයනය ඔස්සේ සමස්ත නූතන
සිංහල ගීතයෙන් නිරූපිත බෞද්ධ සංකල්ප සම්බන්ධ සියලු පැතිකඩයන් නිරූපණය නොවේ. මෙය
එක්තරා නියැදියක් පමණී. එසේ ම එම නියැදිය මත පිහිටමින් අනාගතයේ දී වඩාත් පුළුල්ව
මෙම මාතෘකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ අවකාශයද පවතී.
සාහිත්‍ය විමර්ශනය
(අ)
සාහිත්‍ය විමර්ශනය
නූතන සිංහල ගීතයෙන් නිරූපණය වන බෞද්ධ සංකල්ප
පිළිබඳ විකටර් රත්නායකයන් ගායනා කරන ලද ගී නිර්මාණ ඇසුරෙන් සිදු කෙරෙන්නා වූ මෙම
අධ්‍යයනය එම ගීතයන් හි ආකෘතිමය විශේෂතාවලින් ඔබ්බට ගියා වූ දෘෂ්ටිමය හා වස්තු
විෂයමය විශේෂතා කෙරෙහි සැලකිලිමත් වෙමින් සිදු කරන්නකි. ඒ අනුව ගීත විචාරයකින්
ඔබ්බට ගොස් එය බෞද්ධ සංකල්ප හා සම්බන්ධ පාලි ත්‍රිපිටක ආදී සූත්‍රයන් හා සම්බන්ධ
කරමින් ලාංකීය නූතන සිංහල ගීතයෙන් නිරූපිත බෞද්ධ සංකල්ප කිනම් දිශානතියක් උසුලයි ද
යන්න විමසුමට ලක්කරයි. මෙවන් අධ්‍යයන මාතෘකාවක් සම්බන්ධයෙන් මීට පූර්වයෙන් සිදුකළා
වූ අධ්‍යයනයක් හමු නොවීය. ඒ අනුව සෘජු ලෙස අපගේ අධ්‍යයනය සඳහා මහෝපකාරී වන ශාස්ත්‍රීය
අධ්‍යයනයන් විරලය. මෙහි දී සාහිත්‍ය සමීක්‍ෂාවට යොදා ගන්නා ලද්දේ අපගේ අධ්‍යයනයට
අදාළ කර ගැනීමට අපේක්‍ෂිත ග්‍රන්ථයන්ගෙන් තෝරාගත් කීපයක් පමණී. ඒ අතර අධ්‍යයනයට
අදාළ න්‍යායාත්මක පසුබිමට දායකත්වය සපයන්නා වූ ග්‍රන්ථ හා නිර්දිෂ්ට මාතෘකාවට අදාළත්වයක්
උසුලන සෙසු ශාස්ත්‍රීය ග්‍රන්ථයන් කීපයක් ද වෙයි.
අපගේ අධ්‍යයනයට අදාළ කරගන්නා වූ විකටර්
රත්නායකයන් සිංහල ගීත ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ 1970 දශකයෙන් පසුවය. නමුත් ඔහුට පූර්වයේ සිටම මෙම බොදු ගී කලාව ප්‍රගතිශීලී
මට්ටමක පැවතී ඇති බව යම් යම් ශාස්ත්‍රීය මූලාශ්‍රවල සඳහන් වෙතත් ඒ පිළිබදව සිදු
කරන ලද පුළුල් විවරණයක් සහිත ග්‍රන්ථ සපයා ගැනීමට නොමැත. විශේෂයෙන්ම බෞද්ධ ගීතයේ
පසුබිම, ආරම්භය මෙන්ම විකාශනය පිළිබඳ විස්තර
දැක්වෙන කෘති පළ වී ඇතත් බෞද්ධ ගීතයෙන් නිරූපිත බෞද්ධ සංකල්පයන් පිළිබඳ විවිරණ
සපයන ග්‍රන්ථයක් සොයා ගැනීම උගහටය.
අපගේ නිබන්ධනයට අදාළ න්‍යායාත්මක ප්‍රවේශය සම්පාදනය කරගනු වස් ඊට
අදාළ ග්‍රන්ථ කීපයක දායකත්වය ලබාගැනීම අත්‍යාවශ්‍ය විය. න්‍යාය පිළිබඳව නිවැරදි
වැටහීමකින් තොරව එම න්‍යාය ඔස්සේ කරුණු විග්‍රහ කිරීම දුෂ්කර වන බැවින් වචනාර්ථ
වශයෙන් න්‍යාය පිළිබඳ අවබෝධයකුත් , න්‍යාය
භාවිතා කිරීම පිළිබඳ අවබෝධයකුත් ලබා ගැනීම සඳහා ග්‍රන්ථ ගත ඥානය ඉවහල් විය.
මෙහි දී වෑගම පියරතන හිමියන්ගේ ‛‛සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය’’ (2006) නම් ග්‍රන්ථය බෞද්ධ ගීතයේ පසුබිම හඳුනා ගැනීම සම්බන්ධයෙන් අපට වැදගත්
වන කෘතියක් වශයෙන් සඳහන් කළ හැකිය. ගීතය පිළිබඳව වන බුද්ධ භාෂිත ප්‍රකාශනයන් මෙන්ම
බුද්ධකාලීන අවධියේ ගීතයේ ස්වභාවය හඳුනා ගැනීමට මෙම කෘතිය අපගේ අධ්‍යයනයට වැදගත්වේ.
ඒ අනුව ‛‛රුණ්ණමිදං භික්ඛවේ අරියස්ස විනයෙ ගීතං
උම්මත්තකමිදං අරියස්ස විනයේ නච්චං’’ ගීතය
හැඩීමකටත්, නෘත්‍යය උමතු වූවකු ගේ ක්‍රියාවක්
ලෙසත් දැක් වූ බුදුරඳුන් පංචශිකගේ වීණාවාදනය අගය කළ අන්දමත්, භික්‍ෂූන් විෂයෙහි කලාව පිළිබඳ දැක්වූ අර්ථ
දැක්වීම් පිළිබඳ විග්‍රහයක් ද ඇතුළත් වන මෙම කෘතිය අපගේ අධ්‍යයනයේ පසුබිම ගොඩනගා
ගැනීම සඳහා මනා පිටුබලයක් සපයයි.
‛‛පාලි ත්‍රිපිටකයේ එන සෞන්දර්ය වර්ණනා’’ (1996) නම් සෙනවිරත්න මහ ලේකමගේ කෘතියද සංගීතාදී ලලිත
කලා කෙරෙහි බුදුරදුන්ගේ ආකල්පය හඳුනා ගැනීමටත්, පාලි ත්‍රිපිටක සූත්‍රාදියේ සෞන්දර්ය පිළිබඳව වන සංකල්පයන්
හඳුනාගැනීමටත් අපට වැදගත් වන තවත් කෘතියකි. එමෙන්ම මෙම කෘතියේ බෞද්ධ සංකල්පයන්
පිළිබඳව දැක්වෙන සංක්‍ෂිප්ත විස්තරයක් ද වෙයි. එම විස්තරය අපගේ අධ්‍යයනයට ඍජු ලෙස
යොදා ගත හැකි විස්තරයකි.
කපුගොල්ලෑවේ රතනසිරි හිමියන්ගේ ‛‛සෞන්දර්ය සහ තෙර තෙරණී ගී’’ (2006) නම් ග්‍රන්ථයද අපගේ අධ්‍යයනය විෂයෙහි වැදගත් වන තවත් කෘතියකි. එහි
සඳහන් වන සෞන්දර්ය සංකල්ප පිළිබඳ පෙර අපර දෙදිග විවරණ මෙන්ම බෞද්ධ විවරණ පිළිබඳව
වන විස්තරය අපගේ අධ්‍යයනයේ ප්‍රවේශයට යම් දායකත්වයක් සපයා ගත හැකි විස්තරයක් ලෙස
සඳහන් කළ හැකිය.
ප්‍රනීත් අභයසුන්දරගේ ‛‛බෞද්ධ
ගීත මඤ්ඡරී’’ නම් කෘතියේද බෞද්ධ සංකල්පයන් පිළිබඳ
ඍජු විවරණයක් අන්තර්ගත නොවුනද බොදු ගීතයේ පසුබිම, ආරම්භය හා විකාශනය පිළිබඳ යම් හැඳින්වීමක් ඒ තුළ අන්තර්ගත වන හෙයින්
ඒ පිළිබඳව වන යම් අවබෝදයක් ලබා ගැනීමටද එම ග්‍රන්ථය උපකාරී වෙයි.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‛‛ග්‍රුමෆෝන් යුගය’’ නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය එම යුගයේ දී
ගී තැටි බිහිවීම පිළිබඳව වන විවරණයක් සපයයි. මෙය අපගේ අධ්‍යයනයට අදාළ වන්නේ මෙම
තැටිවලට නැන්වුන ගීත වලින් වැඩි ප්‍රමාණයක් බෞද්ධ ගීත ලෙස සඳහන් වීමයි. එමෙන්ම මෙම
ග්‍රන්ථයෙහි අන්තර්ගතය අපගේ අධ්‍යයනයට අදාළ සම්භාව්‍ය සිංහල ගීතයේ සිට නූතන සිංහල
ගීතය දක්වා ගීතයේ ගමන්මඟ පිළිබඳ යම් යම් අවධීන් හඳුනා ගැනීමට වැදගත් වේ.
කොළඹ විශ්ව විiාලයේ සිංහල අධ්‍යයන අංශයේ විද්‍යාර්ථයකු
විසින් ස්වකීය අවසන් වසර නිබන්ධය ලෙස සම්පාදිත ‛‛බොදු ගීත’’ නම් අප්‍රකාශිත බෞද්ධ ගීත පිළිබඳ සිදු
කරන ලද්දා වූ පුළුල් විමර්ශනයකි. එම නිබන්ධය සම්පාදනය වී ඇත්තේ සමස්ත බුදු ගුණ
ගීතයන් ම අළලා එහි අන්තර්ගතයන් පිළිබඳ කරන ලද විමසුමක් වශයෙනි. එහෙත් එහි බෞද්ධ
සංකල්පයන් පිළිබඳ කරන ලද විග්‍රහයක් අන්තර්ගත නොවේ. එසේ වුවද බොහොමයක් බුදු ගුණ
ගීතයන් පිළිබඳව වන සංක්‍ෂිප්ත අදහසක් ලබාගැනීමට එය උපකාරී වේ.
න්‍යායාත්මක වශයෙන් වැදගත් වන කෘති පිළිබඳ මෙසේ විස්තරයක් දැක්විය
හැකි අතර නිර්දිෂ්ට මාතෘකාවට ඍජුවම අදාළ වන ග්‍රන්ථයන් පිළිබඳව ද විස්තරයක් සැපයිය
හැකිය.
එහිදි මුලිකවම වික්ටර් රත්නායකයන් සංගීත ක්‍ෂේත්‍රයට ආගමනය වූ ආකාරය
පිළිබඳව මෙන්ම ඔහුගේ ආගමනය සිදු වූ යුගය තුළ ගීතයේ භූමිකාව පිළිබඳව වන අවබෝධයක්
ලබා ගැනීමට ගීතනාත් කුඩලිගමගේ ‛‛විකටර් රත්නායක මාරුතයේ මියුරුසර’’
(2010) යන ග්‍රන්ථයන්, 2010 ජූලි මස 04 වැනි ඉරිදා බුද්ධික සමන් ගුණවර්ධන විසින් සිථමිණ පුන්කලසට සපයන ලද
වික්ටර් රත්නායකයන් පිළිබඳව ලියනලද ‛‛හදාරන්නේ
නැතිව වදාරන්න බෑ’’ යන ලිපියත්, 2012 පෙබරවාරි මස 19 වැනි ඉරිදා නුවන් නයනජිත් කුමාර විසින් ‛‛ලාංකේය සුභාවිත ගීතයේ යුව රජවරුන්ට හැත්තෑවයි’’ නමින් වික්ටර් රත්නායක හා සනත් නන්දසිරි පිළිබඳ
සිළුමිණ පුන්කලසට සපයන ලද ලිපියත් වැදගත් වේ.
සුනිල් ආර්. ගමගේ ගේ සංස්කරණයෙන් සම්පාදිත ‛‛වික්ටර් රත්නායක නිර්මාණ විමර්ශන’’
(1993) නම් ග්‍රන්ථය වික්ටර් රත්නායකයන්ගේ
ගායනය සම්බන්ධයෙන් පුළුල් අර්ථ දැක්වීම් සමුදායක ඒකරාශී වීමකි. සාහිත්‍යධරයන්
කිහිපදෙනෙකුගේ ලිපි වලින් සමන්විත මෙම පුස්තිකාවේ පළවී ඇති ‛‛වික්ටර් රත්නායකයන්ගේ බොදු ගී කලාව’’ නමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් ලියන ලද
ලිපිය අපගේ අධ්‍යයනයට ඍජුවම දායකත්වයක් සපයන ලද ලිපියක් වශයෙන් සඳහන් කළ හැකිය.
කාලෝ ෆොන්සේකාගේ මෙම ලිපිය ඒ අයුරින්ම වික්ටර් රත්නායක මාරුතයේ මියුරුසර නම් ග්‍රන්ථයේද
සඳහන්ව ඇත.
එමෙන්ම ‛සිංහල සංගීතයේ වික්ටර් රත්නායක -සුළකල්
මියුරු ගැයුම් ’ නමින් යපා බණ්ඩාර සෙනෙවිරත්න විසින්
සම්පාදනය කරන ලද ග්‍රන්ථයේ දැක්වෙන ‛බොදුනු
සිතට සිහිල් පවන් ’ නමින් දැක්වෙන හතර වන පරිච්ඡේදයේද අපගේ
අධ්‍යයනයට ඍජු දායකත්වයක් සපයනු ලබයි. එම
පරිච්ඡේදය තුළ වික්ටර් රත්නායකගේ බොදු ගීත සම්බන්ධ වන යම් යම් කරණා දක්නට ඇත.
මීට
අමතරව ගීතනාත් කුඩලිගම විසින් සංස්කරණය කරන ලද ‛‛වික්ටර් රත්නායක ගී සියයක් ’’ නම් ග්‍රන්ථය ද, ඔහුගේ සමිඳු පාමුල සංයුක්ත තැටිය ද
අපගේ අධ්‍යයනයෙහිලා ප්‍රාථමික මුලාශ්‍ර වශයෙන් වැදගත් වන බව පැවසිය යුතුය.
මේ
අනුව ඉහතින් සදහන් කරන ලද සෑම ග්‍රන්ථයක්ම ස්වාධින වු ශාස්ත්‍රිය නිබන්ධනයක්
ගුණාත්මක වශයෙන් පෝෂණය කිරිම සඳහාත් , පුර්ව
ඥානය සම්පාදනය කරගැනීම සඳහාත් වැදගත් වන බව පැවසිය යුතුය. සාර්ථක නිබන්ධනයක්
සම්පාදනය සඳහා එයින් මහත් පිටුබලයක් ලැබේ. අපගේ නිබන්ධනයට අදාළව පරිශිලනය කරන ලද
ග්‍රන්ථ ඇසුරෙන් තෝරාගත් ග්‍රන්ථ කිහිපයක් මගින් පමණක් මෙම සාහිත්‍ය විමර්ශනය
සිදුකල බවද පැවසිය යුතුය.
(ආ) සාහිත්‍යයට ලබාදෙන දායකත්වය
ඉහත අවස්ථා කිහිපයේ දී ද සඳහන් කළ පරිදී අප
විසින් තෝරා ගන්නා ලද මාතෘකාව සම්බන්ධයෙන් මෙතෙක් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ කිසිඳු
ප්‍රාමාණික ශාස්ත්‍රීය අධ්‍යයනයන් සිදුවී නොමැත්තේය. එසේම අප විසින් පාදක කර ගන්නා
ලද වික්ටර් රත්නායක කේන්ද්‍ර කර ගනිමින් ඔහුගේ බෞද්ධ ගීත සම්බන්ධ අධ්‍යයනයක්
සිදුවී නොමැත. එවැනි තත්වයක් මත අප විසින් සම්පාදනය කරන්නා වූ මෙම නිබන්ධනය සාහිත්‍ය ක්ෂේත්‍රයට
නවමු ප්‍රවේශයකි. මේ සම්බන්ධ මින් පෙර ප්‍රාමාණික අධ්‍යයනයක් සිදු නොවීම තුළ මේ
සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් වෙත මේ ඔස්සේ ගමන් කරමින් දීර්ඝ අධ්‍යයනයක්
සිදු කිරීමට පෙළඹවීමක් හා අවස්ථාවක් ද ඇති කරයි. නූතන සිංහල ගීතය (විශේෂයෙන් ම 1970 දශකයෙන් පසුව බිහිවූ) තුළ ‛බෞද්ධ සංකල්ප’ සම්බන්ධයෙන් සිදු කෙරෙන අර්ථ ගැන්වීම කුමක් ද යන්න පිළිබඳ අවබෝධයක්
මෙන්ම නූතන සිංහල ගීතය වස්තු විෂයෙහි ලා බුදු දහම උසුලන භූමිකාව හා එහි දෘෂ්ටිමය
විශේෂතා මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලබා ගත හැකිය.
පර්යේෂණ ක්‍රමවේදය
(අ)
දත්ත රැස්කිරීමේ ක්‍රමවේදය
දත්ත රැස්කිරීමේ ප්‍රධාන ක්‍රමවේද දෙකකි
1 ප්‍රමාණාත්මක මූලාශ්‍ර - පුස්තකාල
ග්‍රන්ථ පරිහරණය / පඨිත සමීක්‍ෂණය (පූර්ව කියවීම් හා අවශ්‍ය න්‍යායික ප්‍රවේශය ලබා ගැනීම)
මෙහිදී පර්යේෂණයට අදාළ වන පරිදි ලිඛිත මූලාශ්‍ර
පරිහරණය කරමින් බෞද්ධ දර්ශනය පිළිබඳවත් බෞද්ධ ගීතය පිළිබඳවත් මෙතෙක් ලියැවී ඇති
සාහිත්‍යය පරිශීලනය කිරීමක් සිදු වේ. මෙම අදියරේ තවත් අංගයක් ලෙස පර්යේෂණ
උපදේශකවරයා සමඟ අධ්‍යයන වපසරිය පිළිබඳ වඩාත් පැහැදිලි එකඟතාවයකට පැමිණීමද සිදු විය
හැකිය.
මෙම ලිඛිත පඨිතයන් පරිශීලනයේ දී එය ක්‍රම දෙකක් ඔස්සේ අධ්‍යයනය
කිරීමට බලාපොරොත්තු වේ.
1 ප්‍රාථමික මූලාශ්‍ර
∎ කුඩලිගම ගීතනාත්, වික්ටර් රත්නායක ගී සියයක් , (2001 - දෙවන මුද්‍රණය), කර්තෘ ප්‍රකාශනයකි.
∎ කුඩලිගම ගීතනාත්, වික්ටර් රත්නායක මාරුතයේ මියුරුසර, (2010 - දෙවන
මුද්‍රණය), වන්සි හෙට්ටිආරච්චි ප්‍රකාශන සත්කාරය.
∎ (සංස්:) ගමගේ සුනිල් ආර්. , වික්ටර් රත්නායක නිර්මාණ විමර්ශන ,(1993
- පෙබරවාරි) , නාවල : ප්‍රින්ටෙක් ලංකා.
∎ සෙනවිරත්න යාපා බණ්ඩාර, සිංහල සංගීතයේ වික්ටර් රත්නායක - සුළකල් මියුරු
ගැයුම්, (2007), කොළඹ : එස්. ගොඩගේ සහෝදරයෝ.
පුවත්පත් ලිපි හා සංයුක්ත තැටි
∎ කුමාර නුවන් නයනජිත්, 2012-02-19, ලාංකේය සුභාවිත ගීතයේ යුව රජවරුන්ට හැත්තෑවයි,
සිථමිණ පුන්කලස.
∎ ගුණවර්ධන බුද්ධික සමන්, 2010-07-04, හදාරන්නේ නැතිව වදාරන්න බෑ, සිථමිණ පුන්කලස.
∎ වික්ටර් රත්නායක සමිඳු පාමුල සංයුක්ත තැටිය.
2 ද්වීතීයික මූලාශ්‍ර
∎ අභයසුන්දර ප්‍රණීත්, බෞද්ධ ගීත මඤ්ජරී (ප්‍රථම කාණ්ඩය) , (2006) , කොළඹ: සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය.
∎ පියරතන වෑගම හිමි, සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය, (2006), දිවුලපිටිය: සරස්වතී ප්‍රකාශන.
∎ මහලේකම සෙනෙවිරත්න, පාලි ත්‍රිපිටකයේ එන සෞන්දර්ය වර්ණනා, (1996), කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ.
∎ රතනසිරි කපුගොල්ලෑව හිමි, සෞන්දර්ය සහ තෙර තෙරණි ගී, (2006), පන්නිපිටිය: චාග ප්‍රකාශන.
මේ සඳහා පහත සඳහන් පුස්තකාල පරිශීලනය කිරීමට බලාපොරොත්තු වේ.
1 කොළඹ
විශ්වවිද්‍යාලය
(ප්‍රධාන පුස්තකාලය)
2 කොළඹ
විශ්වවිද්‍යාලය (සිංහල අ. අ. පු.)
3 කොළඹ
ජාතික පුස්තකාලය
4 කොළඹ
මහජන පුස්තකාලය
5 පෞද්ගලික
පුස්තකාලය (නිවසේ)
3. ගුණාත්මක මූලාශ්‍ර - සහභාගිත්ව
නිරීක්ෂණය ( සම්මුඛ සාකච්ඡා )
මේ යටතේ විකටර් රත්නායකයන් සමඟ සහ ඔහුට ගීපද
රචනා සැපයූ ගේය පද රචකයන් සමඟ සංවාදයකට එළඹීමට බලාපොරොත්තු වේ.
(ඇ) පරිච්ඡේද සැලැස්ම
1 හැඳින්වීම
2 බුදු
ගීතයේ පසුබිම (බුද්ධ කාලීන අවධිය)
3 බුදු
ගුණ ගීතයේ ආරම්භය
4 බුදු
ගී ගායකයකු ලෙස විකටර් රත්නායකයන්ට සිංහල සාහිත්‍යයේ හිමි ස්ථානය
5 විකටර්
රත්නායකයනගේ බුදු ගී විමසුම
6 සමාලෝචනය
7 ආශ්‍රිත
ග්‍රන්ථ නාමාවලීය
නිගමනය
ශාස්ත්‍රවේදී අවසන් වසර නිබන්ධනයට අදාළ පර්යේෂණ
යෝජනාව ලෙස ඉහතින් ඉදිරිපත් වූයේ නිබන්ධනය සම්පාදනය කිරීමට අදාළ දළ සැලැස්මක් එහි
පසුබිමත්ය. එය හැඳින්වීම, ගැටලුව, සාහිත්‍ය විමර්ශනය, පර්යේෂණ
ක්‍රමවේදය, නිගමනය, ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය යන ප්‍රධාන ශීර්ෂයන්ගෙනුත් ඒවාට අදාළ උප
ශීර්ෂයන් ඔස්සේත් සවිස්තරාත්මකව මෙහිදී ඉදිරිපත් කෙරිණි.
‛විකටර් රත්නායකයන්ගේ ගී වල අන්තර්ගත බෞද්ධ
සංකල්ප කථනයන් පිළිබඳ අධ්‍යයනයක්’ මැයෙන්
සම්පාදනය කිරීමට නියමිත අපගේ නිබන්ධනය සඳහා එම තේමාව තෝරා ගැනීමට පසුබිම් වූ
කාරණාත් එහිදී සාකච්ඡාවට බඳුන් කිරීමට අභිමත කාරණාත් සම්බන්ධයෙන් මෙහිදී කරුණු
දැක්විනි. තවද පර්යේෂණය සිදු කිරීමේදී මාතෘකාව සම්බන්ධයෙන් ඉපැදුනු මූලික පර්යේෂණ
ගැටලුත් එම මාතෘකාවේ වැදගත්කම යන කාරණාත් අධ්‍යයනයට අදාළ න්‍යායාත්මක පසුබිමත් අධ්‍යයනය
සම්බන්ධයෙන් පවත්නා සීමාවනුත් මෙහිදි විග්‍රහයට බඳුන් විය.
එසේම පර්යේෂණ
යෝජනාවේ ප්‍රධාන අංගවන සාහිත්‍ය විමර්ශනයේදි අවශ්‍ය මාතෘකාවට අදාළව අප විසින්
පුර්ව කියවිම් වශයෙන් යොදා ගන්නා ලද ග්‍රන්ථ අතරින් තෝරාගත් ග්‍රන්ථ කිහිපයක්
පිළිබඳ විමර්ශනයක් ද මෙහිදි සිදුකෙරිණි. එසේම මෙම නිබන්ධනය සාහිත්‍යයට ලබාදෙන්නා
වු දායකත්වය කෙබඳුද යන කරුණත් මෙහිදි විග්‍රහ වෙයි .
තවද නිබන්ධය සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීමේ
ක්‍රමවේදයන් සම්බන්ධවත් ඒවායේ ප්‍රභේද හා එකී ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විග්‍රහයට
ලක්විය. එසේම මාතෘකාව භාරදීමේ සිට නිබන්ධය අවසන් කොට භාරදීම දක්වා වු දීර්ඝ ක්‍රියාවලිය
සැලසුම් සහගතව සිදුකරකන්නා වු අකාරයත් පරිච්ඡේද සකස් කිරීමට අරමුණු කොට සිටින
ආකාරයත් පිළිබඳ අදහසක් මින් ඉදිරිපත්වේ. මේ අනුව අපගේ නිබන්ධය සම්පාදනය කිරීමේ
සමස්ත ක්‍රියාවලිය සම්බන්ධ පූර්ණ විග්‍රහයක් මෙමගින් සිදුවිය. සැලැස්ම ප්‍රායෝගිකත්වයට
නන්වා අර්ථපූර්ණ වූ ගුණාත්මක නිබන්ධනයක් අවසන් වශයෙන් සම්පාදනය කිරීම අපගේ
අරමුණයි.
ආශ්‍රිත ග්‍රන්ථ
∎ අභයසුන්දර ප්‍රණීත්, බෞද්ධ ගීත මඤ්ජරී (ප්‍රථම කාණ්ඩය) , (2006) , කොළඹ: සමස්ත ලංකා බෞද්ධ
මහා සම්මේලනය.
∎ කුඩලිගම ගීතනාත්, වික්ටර් රත්නායක ගී සියයක් , (2001 - දෙවන මුද්‍රණය), කර්තෘ ප්‍රකාශනයකි.
∎ කුඩලිගම ගීතනාත්, වික්ටර් රත්නායක මාරුතයේ මියුරුසර, (2010 - දෙවන
මුද්‍රණය), වන්සි
හෙට්ටිආරච්චි ප්‍රකාශන
සත්කාරය.
∎ පියරතන වෑගම හිමි, සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය, (2006), දිවුලපිටිය: සරස්වතී ප්‍රකාශන.
∎ මහලේකම සෙනෙවිරත්න, පාලි ත්‍රිපිටකයේ එන සෞන්දර්ය වර්ණනා, (1996), කොළඹ: එස්. ගොඩගේ
සහ සහෝදරයෝ.
∎ රතනසිරි කපුගොල්ලෑව හිමි, සෞන්දර්ය සහ තෙර තෙරණි ගී, (2006), පන්නිපිටිය: චාග ප්‍රකාශන.
∎ (සංස්:) ගමගේ සුනිල් ආර්. , වික්ටර් රත්නායක නිර්මාණ විමර්ශන ,(1993
- පෙබරවාරි) , නාවල :
ප්‍රින්ටෙක් ලංකා.
∎ සෙනවිරත්න යාපා බණ්ඩාර, සිංහල සංගීතයේ වික්ටර් රත්නායක - සුළකල් මියුරු
ගැයුම්, (2007),
කොළඹ : එස්. ගොඩගේ සහෝදරයෝ.
No comments:
Post a Comment