Friday, February 8, 2013

කන්දක් සේමා තුළින් නිරූපිත සමාජය



යම් සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීමේ දී එහි අන්තර්ගත කරුණු සඳහා එම කෘතිය බිහි වූ යුගයේ පැවතුනා වූ සමාජ ඓතිහාසික බලවේගයන්ගේ සෘජු හෝ වක්‍ර බලපෑමක් කෘතිය කෙරෙහි වීම නොවැළැක්විය හැකි කරුණකි. කවර ලේඛකයෙකුට වුවද මේ තත්ත්වයෙන් අත්මිදී නිර්මාණයක් කළ නොහැක්කේය. නියම සාහිත්‍ය නිර්මාණයකින් එක් අතකින් මිනිස් ජීවිතයේ සත්‍ය පිළිඹිබු කරන අතර අනෙක් අතින් එම කෘතිය පහළ කළ සමාජයේ ක්‍රියාත්මක වන්නා වූ විවිධාකාර බලවේගයන් ද පිළිඹිබු කෙරෙයි. එපමණක් නොව එම නිර්මාණය පහළ කළ යුගයට අයත් මිනිසාගේ දුර්වලතා හා ප්‍රබලතා ද, ප්‍රාර්ථනා හා අපේක්‍ෂා ද ධ්වනිත කරයි.” ( සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, 2 පිටුව )
            නමුත් සාහිත්‍ය කෘතියකින් සත්‍ය ඉදිරිපත් කිරීමෙත්, ඉතිහාස වාර්ථාවකින් හෝ සමාජ විද්‍යා ගවේෂණයකින් හෝ සත්‍ය ඉදිරිපත් කිරීමෙත් වෙනසක් පවතී. සාහිත්‍යයේ එක් ප්‍රබල ශාඛාවක් වන අධ්‍යතන නවකතාව උදාහරණ වශයෙන් ගතහොත් එය මිනිස් සමාජය අවංකවත් අර්ථවත් ලෙසත් ප්‍රතිනිර්මාණය කිරීමට දැරූ ප්‍රයන්තයක් ලෙසින් හඳුනාගත හැකිය. මිනිසා අතර මෙන්ම මිනිසා හා සම්ප්‍රදාය , සංස්කෘතිය , ආර්ථිකය , දේශපාලනය , යනාදි බලවේගයන් අතර පවත්නා හොඳ නොහොඳකම් , ගැටීම්  ආදිය නවකතාවෙන් නිරූපණය වන අතර පවුල, ජාති, ආගම්, පන්ති ආදී සමාජ ආයතන තුළ මිනිසා ක්‍රියා කරන සැුටිත් ප්‍රකාශ වන්නේය.
සාහිත්‍ය හැදෑරීම හෙවත් සාහිත්‍ය අධ්‍යයනය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබනුයේ සාහිත්‍ය විචාරය නමිනි. සාහිත්‍ය ආරම්භ වූ දා පටන්ම ඒ සඳහා වූ කිසියම් විචාරයක් ද පැවති බව පෙනේ. සාහිත්‍ය අධ්‍යයනයෙහි ලා මාර්ග දෙකක් පවතින බව පෙනේ. ඉන් එකක් නම් කෘතිය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් එක් පසෙකින් එහි ආකෘතිය, සන්දර්භය යනාදී කරුණුත් අනෙක් පසින් අන්තර්ගතය හෙවත් විෂය කරුණුත් විභාග කිරීමය. ඇරිස්ටෝටල්ගෙන් මෙන්ම භරත මුනීන්ගෙන් ද ආරම්භ වූ මෙම අධ්‍යයන මාර්ගය අද දක්වාම අනුගමනය කරනු පෙනේ.
දෙවැනි අධ්‍යයන මාර්ගය ඊට වෙනස්ය. මෙහිදී කිසියම් සාහිත්‍ය කෘතියක් ස්වාධීනව පහළ විය නොහැකි බවත් සාහිත්‍ය පහළ වන්නේ එය අයත් යුගයේ සමාජයේ ඓතිහාසික, සංස්කෘතික ආදී බලවේගයන් පසුබිම් කරගෙන බවත් පිළිගැනේ. මේ අනුව සාහිත්‍ය කෘතියක් අධ්‍යයනයේ දී    මානව වින්දනයේ පරිපූර්ණත්වය අතින් එය භජනය කරන ස්ථානයකෙරෙහි විශේෂ අවධානය යොමු කෙරේ. සමාඡ විද්‍යා ක්‍ෂේත්‍රයට සාහිත්‍ය අධ්‍යයනය සමීප වන්නේ මෙම මාර්ගය ඔස්සේය.
මෙම පදනම ඔස්සේ සුමිත්‍රා රාහුබද්ධගේ කන්දක් සේමා නවකතාව පිළිබඳ සමාඡ සාහිත්‍ය අධ්‍යයනයක් කිරීම මෙහි අරමුණයි. කන්දක් සේමා නවකතාව යනු , 2010 වසරේ හොඳම සාහිත්‍ය කෘතියට හිමි රාඡ්‍ය සම්මානය ලැබූ නවකතාවකි. එයට රාඡ්‍ය සම්මානය පමණක් නොව ස්වර්ණ
පුස්තක සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය , ගොඩගේ සාහිත්‍ය සම්මානය හා අලුත් පියාපත් සම්මානය ද හිම්විය.  සුමිත්‍රා රාහුබද්ධ යනු සිංහල සාහිත්‍යයට විශාල කෘති සංඛ්‍යාවක් දායාද කළ දායාද කරමින් සිටින වත්මන් ලේඛිකාවකි. ඇය විසින් නවකතා, කෙටිකතා, කාව්‍ය පමණක් නොව පරිවර්තන කෘති ද සිංහල සාහිත්‍යයට දායාද කරනු ලැබීය. ළමා සාහිත්‍ය සඳහා ද සුමිත්‍රා රාහුබද්ධගෙන් ඉටු වූයේ මහඟු මෙහෙවරකි. ඇය විසින් මේ වන විට පළ කර ඇති කෘති ප්‍රමාණය විශාල සංඛයාවකි.

කන්දක් සේමා තුළින් නිරූපිත සමාජය  සුමිත්‍රා රාහුබද්ධ නිර්මාණයක් ( 2010 වසරේ හොඳම නවකතාව )

            70 දශකයේ සමාජ ක්‍රමය ස්පර්ශ කරමින්ම වර්තමාන සමාජයට පිළිපන් නවකතාවක් වශයෙන් කන්දක් සේමා පාඨකයා අතරට පැමිණේ. ඒ තුළින් නිරූපණය වන බොහොමයක් කරුණු කාරණා පුද්ගලානුබද්ධ තත්ත්වයට වඩා සමාජානුබද්ධ තත්ත්වයට පත් වේ. ප්‍රේමය, විරහාව, වේදනාව, දික්කසාදය, ගබ්සාව, සියදිවි නසාගැනීම, අනාචාරය, ලිංගිකත්වය ආදි වූ බොහොමයක් සමාජගත තොරතුරු අහුලා ගැනීමට කන්දක් සේමා නවකතාව කියවන ඕනෑම පාඨකයෙකුට හැකියාව ලැබේ.
            මෙම නවකතාව 70 දශකය ස්පර්ශ කරමින් වර්තමානයට පිළිපන් නවකතාවක් ලෙස අපට සඳහන් කළ හැකිවන්නේ එහි මුල් අදියරෙන් නිරූපනය වන ප්‍රේමදාස මහතාගේ රැස්වීම් හා කතා හේතුවෙනි. නවකතාවේ පසුව සිදුවන සියලුම සිද්ධි ජාලයන් සිදුවන්නේ ඔහු විසින් බත්තරමුල්ල කොස්වත්ත හන්දියෙ දි කරන ලද කතාවෙන් අනතුරුවයි. ඒ ප්‍රේමදාස මහතා අගමැතිව සිටි කාලය හා ප්‍රේමවති මනම්පේරී ඝාතනය කරන ලද කාලයයි. එනම් 70 දශකයයි.
            කන්දක් සේමා තුළින් නිරූපිත එක් සමාජීය ලක්‍ෂණයක් වශයෙන් එහි නිරූපිත ප්‍රේමය නම් සංකල්පය පෙන්වා දිය හැකිය. ආදරය ප්‍රේමය යනු සියල්ලන්ටම පොදු ධර්මතාවයකි. එය සමාජීය සත්ත්වයා ප්‍රභවය වූ දා පටන්ම පැවත එන්නකි. එහෙත් එය විදින ,විදවන, පුදකරන, ලබන ආකාරය මෙන්ම එය අපෙක්‍ෂා කරන ආකාරය ද කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස්වීම අතිශයින්ම ස්වභාවිකය. සමහර බොහෝ දෙනෙක් තුළ ආදරය කිරීමේ දී ජීවත්වන පරමාදර්ශි පෙම්වතෙක් හෝ පෙම්වතියක් දක්නට ලැබේ. මෙය බොහොමයක් පෙම්වතුන් පෙම්වතියන් තුළ දක්නට ලැබෙන ලක්‍ෂණයකි. කන්දක් සේමා තුළ එන ප්‍රධාන චරිතයන් දෙකක් ලෙස ස්මතුව පෙනෙන නූපාට මෙන්ම මසායා සාන්ට ද එවැනිම වූ පරමාදර්ශයක් පැවත ඇති බව පෙනේ. ඒ අනුව නූපාගේ පෙම්බරා යනු පරමාදර්ශි අපෙක්‍ෂාවකි. මසායා සාන්ගේ පෙම්බරී යනු පරමාදර්ශී මතකයකි. පරමාදර්ශය හා යථාර්තය අතර දෝලනය වීමේ ප්‍රතිඵලය ඉච්චාභංගත්වයයි. කන්දක් සේමා එය අපූර්වට නිරූපනය කර ඇත්තේ යථෝක්ත චරිතයන් හරහාය.
            එමෙන්ම අතීත සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මෙන් නොව වර්තමාන සමාජයේ තරුණ පරම්පරාව ප්‍රේමය කියවන ආකාරය බොහෝ වෙනස්ය. බුදු දහමින් සංවර කරනු ලැබූ අතීත සමාජය තුළ ප්‍රේමය බොහෝ උතුම් කොට සලකනු ලැබූ අතර විවාහයේ දී කාන්තාවන්ගේ කන්‍යාභාවය පිළිබඳ මහත් සැළකිල්ලක් දක්වනු ලැබීය. එම හේතුව නිසාම පූර්ව ලිංගික සේවනය අතීත සමාජය තුළ දක්නට ලැබුණේ නැතිතරම්ය. විවාහයට පෙර සිදු ගැබ්ගැනීමක් පිළිබඳ එකී සමාජයෙන් අසන්නට නොලැබේ. එහෙත් වර්තමාන තත්ත්වය ඊට වෙනස්ය. වර්තමාන තරුණ
පරම්පරාවට ප්‍රේමය යනු හුදෙක් ලිංගික ගනුදෙනුවක් මිස උතුම් වූ මානූෂීය ගනුදෙනුවක් නොවන්නේය.  එකී සමාජ යථාර්ථය කන්දක් සේමා මඟින් නිරූපිතය. එහි එන්නේ පූර්ව ලිංගික සේවනය නිසා සිදු වු අනිසි ප්‍රතිඵලයක් ලෙස වියපත් ජපන් ජාතික සැමියෙකු හා විවාහා වී ජපානයට ගොස් ජීවත්වන ලංකාවේ පහළ පාන්තික දුගී පවුලක සාපේක්‍ෂ වශයෙන් නූගත් තරුණියක වන නූපාගේ කතාවයි. 1990 ගණන්වල දී තරුණවියට එළඹෙන බව පෙනෙන ඇය වැනි අර්ධ නාගරික තරුණියන්ගේ මානසික ලෝකය නූපාගේමානසික ලෝකයෙන් වෙනස් නොවේ. අවධිමත් පවුල තුළ සිය සිහිනය වන ජීවිතයේ සැප විදීම සාක්‍ෂාත් නොවිම දකින ඇය පිරිමියෙක් හරහා එය අත්පත් කරගැනීමට උත්සහා දරයි. පළමු වටයේ දී ලාංකික පිරිමියෙකුගේ ( ජයනාථ ) ලිංගික අවශ්‍යතාවය හමුවේ සිය සිහිනය වෙනුවෙන් තම කන්‍යභාවය පරදුවට තබා පරාජය වූ ඇය දෙවන වටයේ දී වියපත් ජපන් පිරිමියෙකුගේ (මසායා සාන් )ජීවිතයේ සන්ධ්‍යා කාලයේ සුරක්‍ෂිතභාවය සඳහා වූ අවශ්‍යතාවය හමුවේ සිය ජීවිතයම පරදුවට තබයි.
            පහළොස් හැවිරිදි නූපා විසිපස් හැවිරිදි ජයනාථ හා ඇතිකරගනු ලැබූ ප්‍රේමණීය ගනුදෙනුවේ අතුරු ප්‍රතිඵලය වූයේ ඇය ගබ්සාවට ලක්වීමයි. පූර්ව ලිංගික සේවනයත්, ගබ්සාවත් යනු වර්තමාන සමාජයේ සුලභව අහන්නට දකින්නට ලැබෙන අවස්ථාවකි. නූපා යනු එකී තරුණ සමාජය නිරූපණය කරන සංකේතයකි. චන්දනා යනු ද එවන්නියකි. නූප ලා, චන්දනා ලා , යනු අද සමාජයේ කොතෙකුත් දක්නට ලැබෙන චරිතයන්ය. ඔවුන් වැන්නියන් ඉදිරියට තව තවත් මේ සමාජයේ බිහිවේවි. අසාධාරණය වන්නේ බැට කන්නේ එකෙකි. වරද කරන්නේ දෙදෙනකු එක්ව නම් දඩුවම ඔවුන් දෙදෙනාටම හිමි විය යුතු නොවේ ද? පෙර මෝඩ බමුණන්ගේ මත දරන ඔවුන්ගේ නියෝජිත පක්‍ෂයෙන් කොටසක් අදටත් වාසය කරන බව කන්දක් සේමා එමගින් අපිට කියන අනෙක් සමාජ කතාවයි.
            ආසියාතික සමාජයේ කාන්තාවන් මුහුණපාන, මුහුණ පෑ යුතු කරුණු ගණනාවක්ම මෙමගින් නිරූපිතය. ජයනාථගෙන් අනාථවෙන නූපා ජපානයට විසි වේ. එම විසිවීම තුළින් නිරූපණය කරනු ලබනුයේ ආසියාතික සමාජයේ කාන්තාවන් විසින් මුහුණ දෙනු ලබන කන්‍යභාවය පිළිබඳ ගැටලුවයි. අතීත සංස්කෘතික හැදියාවන් පෙර ලෙසින්ම වර්තමානයේ ක්‍රියාත්මක නොවුණි ද කන්‍යභාවය පිළිබඳ නෂ්ටාවශේෂයන් තවමත් වර්තමාන ප්‍රදේශවල ව්‍යාප්තව පවතී. නූපා ජපානයට තල්ලු කරන ප්‍රධානම සාධකය වන්නේ එයයි. නීගතාවට පාර පෙන්නුවේ ප්‍රේමදාස මහත්තයා ”  (6 පිටුව ) නවකතාවේ එක් තැනක හමුවන මෙම කියමන ඊට සාක්‍ෂි දරයි. ජයනාථ හා නූපා මුල්වරට හමුවූයේ ප්‍රේමදාස මහතා බත්තරමුල්ල කොස්වත්ත හන්දියෙ දි කරනු ලැබු දේශපාලන කතාවකදිය. එම හමුවීම නූපාට නීගතාවට පාර පෙන්වනු ලැබීය. තාත්තා ලොකු ප්‍රේමව අත ඇරලා තියෙන්නේ ඔය චරිත පාරිශුද්ධියේ දෝෂ හින්දලු ” (13 පිටුව ) මේ කන්‍යාභාවය පිළිබඳ කතිකාවත කන්දක් සේමා තුළින් නිරූපිත තවත්  අවස්ථාවකි.
            ජයනාථ හා එක්වීම නිසා නූපාගේ කුසට ආ කළලය විනාශ කිරිම තුළින් ද නිරූපනය වන සමාජ යථාර්ථය කුමක් ද? එනම් ආසියාතික සමාජයේ විවාහයකින් තොරව සිදුකරනු ලබන ලිංගික චර්යාව සමාජය විසින් පිළිකුල් කරන ලද බවයි. පළමු වතාවේ ජයනාථගෙන් වූ වැරැද්ද ම
දෙවැනි වතාවේ සුමල්ගෙනුත් සිදුවෙද්දි ඇයට දරුවා බිහිකිරීමට අවසර ඉල්ලා මසායා සාන් ඉදිරියේ බෑගපත් වීමට සිදුවුයේ මෙම සමාජ ඉල්ලීම නිසාය. එවැනි සමාජ ඉල්ලීමක් නොවුයේ නම් ඇය දෙවරක් ම ගබ්සාවට භාජනය නොවීමට ඉඩ තිබුණි. දෙවතාවෙම වූ ගබ්සාව ඇයගේ තනි තීරණයක් හේතුවෙන් සිදු වූවක් නොව දැඩි සමාජ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූවකි. එවැනි සමාජ රාමුවෙන් පිට කරන ලබන සෑම ක්‍රියාවකටම දඩුවම් සමාජයෙන්ම  ලැබේ. එහි ප්‍රතිඵලය වන්නේ ඇය අනාචාරයේ හැසිරෙන ගැහැණියක් මෙන්ම ඇයගේ කුසින් බිහිකළ දරුවා අවජාතකයෙකු බවට පත් වීමයි. හණමිටි බමුණු මත දරන  පිරිසට තවමත් ගැහැණිය වරදකරුවෙකි. පිරිමියා යනු උතුම් සත්ත්වයකි. ඔවුට තියෙනුයේ හවසට වතුර කලය නා ගෙට ඇතුල් වීම පමණි. එසේ වුවද මල් පාවඩම් දමා ඔහුව පිළිගැනීමට නිවසේ අය සූදානමින් සිටි. ගැටලුව වන්නේ මෙයට වැඩියෙන්ම අනුබල දෙන්නේ කාන්තාවන්ම වීමයි.
         විවාහාය සම්බන්ධ සමාජ කියවීමක් ද මෙමඟින් නිරූපිතය. විවාහාය යනු සමාජ යුතුකම් ඉටු කරමින්, මානව පරම්පරාව ඉදිරියට ගෙන යාමේ යාවජීව ක්‍රියාවලියට සම්බන්ධ  වියහැකි ක්‍රියාමාර්ගයකි. එම ක්‍රියාවලිය සඳහා අවසර ලබාදෙන ලියවිල්ල අතීත සමාජය තුළ අනිවාර්ය අංගයක් නොවුණ ද එය වර්තමානයේ අත්‍යවශ්‍ය වූවක් බව පෙනී යන්නේ එය ඉදිරිපත් කිරීමකින් තොරව කරගත නොහැකි ක්‍රියාවන් දෙස බැලීමේදිය. වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙන මෙකී ලක්‍ෂණය කන්දක් සේමා නිරූපණය කරන්නේ තාත්තාගේ හා පොඩි ප්‍රේමාගේ විවාහාය ලියාපදිංචි කිරීමට වෙහෙසෙන චන්දනාගේ චරිතයෙනි. ඔය ආණ්ඩුව පවුල් පිටින් බන්දන්නේ ඒක ඕන හන්දනේ ”(11 පිටුව ) යනුවෙන් පවසන ඇය හරහා වර්තමානයෙහි එහි ඇති වටිනා කියන බව පෙන්වා දී ඇත.
            විවාහය සම්බන්ධ කාරණාවෙ දී එකම ජාතීන් අතර සිදුවන විවාහායන් මෙන්ම ජාතීන් දෙකක් අතර සිදුවන විවාහායන් ද දැකගත හැකිය. එපමණක් නොව කුලයන් දෙකක් අතර, ආගම් දෙකක් අතර, ආදි වූ විවිධ ප්‍රභේදයන් ද විවාහායෙ දි දක්නට ලැබේ. මෙහි දි නිරූපණය වන විවාහාය වනාහි අන්තර් වාර්ගික විවාහය හෙවත් ජාතින් දෙකක් අතර සිදුවන විවාහයයි. එමගින් ජපානය හා ලංකාව අතර පවතින භූ දේශපාලනමය ව්‍යාජ කසාදය යන්තමින් මෙන් ඉස්මතු කර පෙන්වා තිබීම වැදගත්ය.
ඊළඟට වැදගත් වන සාධකය වන්නේ පවුල පිළිබඳ සංකල්පයයි. සමාජය තුළ පවුල යනු උතුම් සංකල්පයකි. රටකට උගතුන්, බුද්ධිමතුන් බිහි කිරීමේ ක්‍රියාවලියට පදනම වැටෙන්නේ එවැනි උතුම් පවුල් තුළිනි. එහෙත් මෙම නවකතාවෙන් නිරූපිත පවුල වනාහි එවැනි ආදර්ශමක් වූවක් නොවේ. එමෙන්ම එය විධිමත් වූ පවුල් පසුබිමක් ද නොවේ. එවැනි පවුල් තුළින් දරුවන්ට ලැබෙන ආදරය පවා අල්පය. එවිට සිදු වන්නේ විවිධ දූෂිත ගති ඇති පුද්ගලයන් සමාජයට එක්වීමයි. නූපාගේ පවුල යනු දරුවන්ට අවැසි ආදරය පවා අහිමි වූ පවුලකි. ළමයින් හුරතල් කරන පවුල් පසුබිමක අපි නොසිටි නමුදු මල්ලී පවුලේ සුරතලා වූයේය” (187 පිටුව ) යන නූපාගේ සිතුවිල්ලෙන් ඒ බැව් තහවුරු වේ. වර්තමාන සමාජයේ මෙවැනි වූ පවුල් සංස්ථාවන් බොහොමයක් දක්නට ලැබේ. එවැනි වූ පවුල් පසුබිමකින් උපදින ලද දරුවන් සමාජයට පිළිලලයන් වෙන ඉඩකඩ බොහෝ වැඩිය. ඒ
බැව් සුජාතා, චන්දනා, නූපා, රංගන, හා රූබට් යන චරිත තුළින් මනාව පැහැදිළි වේ. සුජාතා ඉගනීමට ඇති අසමත්කම නිසාම නවය ශ්‍රේණියෙදිම පාසල් අධ්‍යාපනය නතර කළ අයෙකි. චන්දනා විවාහායටත් පෙරම පැවැත් වූ ලිංගික සම්බන්ධකමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවෙක් කුස තුළ තියාගෙනම  කසාදයට අත්සන් කරපු ගැහැණියකි. නූපා තුන් වතාවක්ම ජිවිතය වරද්දා ගත් අයෙකි. රංගන ගැහැණියක් නිසා මරණය වැළඳ ගත් තැනැත්තෙකි.
            ජීවිතය යථාර්වාදීව දැකිය නොහැකි ප්‍රශ්නයක් දරාගත නොහැකි රංගන වැනි තරුණ ජීවිත අකාලයේ මිය යන්නේ ඔවුන් සතු වූ ජීවිතාවබෝධයේ අල්ප බව නිසාය. වර්තමානයේ රංගනලා වැනි චරිත ඕනෑතරම් දක්නට ලැබේ. අද වන විට ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම අතින් ලෝකයේ දෙවැනි ස්ථානයේ පසු වන්නේ මේ හේතුව නිසාය.
            රංගනගේ ප්‍රශ්නය කෙසේ වුව ද බොහෝ දෙනෙක්ට මරණය කැන්දන මෙන්ම බොහෝ ප්‍රශ්න ඇති කරන ප්‍රධාන සාධකයක් බවට ආර්ථිකය පත්ව ඇත. මුදල් මත යැපෙන ලෝකයේ නිර්දනයාට කෙසේ වුව ද ධනවතාට නම් සියල්ල මිලට ගත හැකිය. එයින් ධනවතුන් කිසියම් වාසියක් ලැබුව ද පීඩාවට පත් වන්නේ පහළ පන්තිකයන්ය. ධනේශ්වරය විසින් ජපානයට තල්ලු කරනු ලැබූ නූපාගේ දිළිඳු කතාව සමාජයට පවසන සත්‍ය එයයි. ඇගේ අධ්‍යාපන මට්ටම මෙන්ම ආර්ථික මට්ටම ද ධනේශ්වරයේ අතකොලුවක් බවට පත්විය. පීඩිත පන්තිය සූරාකන ධනවතුන් ඔවුන්ගේ අතිශය පෞද්ගලිකත්වය පවා මිළට ගනී. සිය අනාගත ස්වාමිපුරුෂයාගේ මුහුණවත් නොදැක ඔහු හා විවාහා වීමට නූපාට සිදුවන්නේ එබැවිනි. මෙය නූපාගේ කතාව පමණක් නොව සමස්ත පීඩිත පන්තියේම කතාවයි.
            ආර්ථිකය හා අත්‍යන්තයෙන් බැදී පවතින දේශපාලනය වනාහි ද එවැනි  ම කතාවකි. දේශපාලනය හැම විටම කතා කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. ත්‍රස්වාදය මුලිනුපුටා දමා රටට සාමය උදා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම වත්මන් දේශපාලනයේ ආදර්ශ පාඨයයි. නැති බැරි අය ඇති හැකි කිරීම ඔවුන්ගේ වාච්‍යාර්ථ අභිලාෂයයි. එහෙත් ඇතිවන ප්‍රජාතන්ත්‍රවාදයක් නම් නොමැත. ඇති හැකි අයගේ මඩිස්සලය තව තවත් තර වෙනවා විනා පීඩිත පන්තිකයන්ගේ විමුක්තියක් නම් දැකිය නොහැක. නවකතාව මඟින් කතුවරිය මෙම දේශපාලන කතිකාවත පවත්වාගෙන නොගිය ද එය යම් යම් තැන්වල ස්මතු කොට ඇත.
                   මෙලෙස ආදරය, ප්‍රේමය, විවාහය, ලිංගිකත්වය, ගබ්සාව, සියදිවි නසාගැනීම,ආදි වූ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ලක්‍ෂණ රැසක් කන්දක් සේමා නවකතාවෙන් නිරූපිත බව කිව හැකිය.



1 comment:

  1. තවත් මෙවැනි බරසාර පොතක් ගැන සරුසාර විචාරයක් බලාපොරොත්තුවෙන් අපි මග බලන් ඉන්නවා හොඳේ.

    ReplyDelete