Tuesday, May 21, 2013

සාහිත්‍ය කෘතියක පවත්නා විශ්ව සාධාරණත්වය



සාහිත්‍ය කෘතියක පවත්නා විශ්ව සාධාරණත්වය
                සාහිත්‍ය යනු කුමක් ද හා සාහිත්‍ය කෘතියක් යනු කුමක්දැයි අප ඉගෙනගෙන ඇත්තෙමු. නවකතාව, කෙටිකතාව, කවිය, ගීතය, ආදී වූ මෙකී සියලුම මානව නිර්මාණයන් අයත් වන්නේ සාහිත්‍යයටයි. ඒ අනුව සාහිත්‍ය යනු උත්කෘෂ්ට වු මානව නිර්මාණයක් වශයෙන් හඳුන්වා දියහැකිය.
           විශ්ව සාධාරණ ලක්‍ෂණ අන්තර්ගත වීම උසස් සාහිත්‍ය නිර්මාණයක වැදගත් අංගයක් ලෙස  නූතන සාහිත්‍ය විචාරකයෝ පවසති. කවර යුගයක, කවර සමාජයක, කෙබඳු පරිසරයක ජන ජිවිතයකට වුව ද ගැළපෙන පුද්ගල චරිත, ජීවන දර්ශන, හා විවරණ ආදී අංග ඇතුළත් වීම එම විශ්ව සාධාරණ ලක්‍ෂණ ලෙස සලකනු ලැබේ. යම් සාහිත්‍ය කෘතියක් ප්‍රංශය, රුසියාව, ඉන්දියාව, ජපානය ආදී කවර සමාජයක ලියවුණ ද එම කතාවල වර්ණනා වන චරිත ඒ ජන සමාජයට පමණක් සීමා වූවාහු නොවෙති. ලක්දිව ජන ජීවිතය ද මේ කතාවලින් නිරූපිත ජන ජිවිතයට වෙනස් නොවෙතැයි සිතිය හැකිය. එනම් සාමාන්‍ය පොදු මහජනයාගේ ජිවිතය මේ කුමන රටක වුව ද බොහෝ දුරට සමාන විය යුතුයැයි සිතිය හැකිය. මෙම කතාවන්ගෙන් නිරූපිත චරිත එවැනි ගම්බද ජන සමාජයකට පමණක් සීමා කළ හැක්කේ ද නොවෙයි. ඔවුන්ගෙන් ඇතමෙකු කවර සමාජයක වුව ද සිටිය හැකිය. ඔවුන්ගේ සිතුම් පැතුම්, ගති පැවතුම්, සැප දුක් සහා ඔවුනට මුහුණ දෙන්නට සිදුවුණ අමාරුකම්, දුක්කම්කටොලු කවර රටෙක මිනිසුන් අතර වුව ද හමුවිය හැකිය. සිතුවිල්ලෙන් හා ඉරියව්වෙන් ඔවුන් විටින් විට පානා දුබලකම් මෙන්ම ප්‍රබල ගුණාංග ද කවර මිනිස් වගක් අතර වුව ද ඇති විය හැකිය. එහෙයින් ඒ චරිතයන්ගේ සර්ව සාධාරණ ගතියක් ඇත්තේ ය.
            නවකතාව නම් සාහිත්‍යාංගය පමණක් සැලකිල්ලට ගනිමින් මේ තත්ත්වය විමසිය හැකිය. මෙහි දී නවකතාව නම් සාහිත්‍ය කෘතිය පමණක් උදාහරණයට ගැනීමටත්, එයිනුත් විශ්ව සාහිත්‍ය කෘතීන් ට මුල්තැන දීමටත් අපට සිදු වේ. එසේ සිදුකිරීමට හේතුව වන්නේ අපගේ අධ්‍යයන වපසරිය විහි දී යන්නේ විශ්ව සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් පමණක් වීමය. ඒ අනුව තෝරාගත් නවකතා පහක් ඇසුරෙන් මෙම කියමන සනාථ කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
          ගුස්ටාව් බොලොබෙයාර් ගේ එමා බොවාරි’ , සෝසෙකි තක්සුමේ ගේ බොච්චන්’ , ලියොටොල්ස්ටෝයි ගේ ක්‍රොයිට්සර් සොනාටා’ , විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය ගේ අරණකට පෙම් බැඳ’ , චිනුවා ඇචිබි ගේ මුහුද ගොඩගලායනු එම කෘති පහ වේ.
 1856 වර්ෂයේ දී පමණප්‍රංශයෙදීරචිත මදාම්බොවාරිනවකථාවත්, ජපානයේ නිර්මාණය වූ බොච්චන්නවකතාවත් රුසියාවේ ලියවුණ ක්‍රොයිට්සර් සොනාටානවකතාවත් ක්‍රි.ව. 1937-1939 කාලයේ පමණ ඉන්දියාවේදී ලියවුණ අරණකට පෙම් බැඳනවකතාවත් 1850- 1900 යන කාලය අතරතුර බටහිර අප්‍රිකානු සමාජයේ ලියවුණ මුහුද ගොඩගලාකෘතියත්, අදත් අපි කියවන්නෙමු. එක් දහස් අටසිය නවසිය ගණන්වල රචිත කෘති දෙදහස් ගණන්වලට පැමිණලත් එනම් විසිවන සියවසේ රචිත කෘති 21 වන සියවස එළඹිලත් අපි තවමත් පරිශීලනය කරන්නේ හෝ රස විදින්නේ මන්ද ? එයට ප්‍රධානම හේතුව වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ එම කෘතිවල පවත්නා සර්වකාලීන හා සර්ව භෞමික තත්ත්වයයි. එනම් විශ්ව සාධාරණ ගුණයයි. වත්මන් සමාජයටද කාලභේදයකින් තොරව මෙම කෘති රසවීදීමට පමණක් නොව එහි සාකච්චා කරන මිනිස් ගැටලු හා උපදේශන ජීවිතයට සම්බන්ධ කර ගැනීමට ද හැකියාව ලැබේ.
                යට කියන ලද නවකතාවන් කියවන විට එම කතාවන් වෙනත් රටක, වෙනත් සමාජයක, වෙනත් ගෝත්‍ර සංස්කෘතියක ලක්ෂණ නිරූපණය කරනවායැයි අපට නොසිතේ. එම නවකතාවන් මගින් නිරූපණය කරන්නේ අප වාසය කරන සමාජයේම ජීවත්වන අපගේම සමීපතමයන් පිළිබඳව පවත්නා සත්‍ය සිදුවීම් යැයි අපට සිතේ. ඇතැම් විටක යමෙකුට එය කියවන විට එය තමන් ගැනම කරන ලද නිරූපණයක් යැයි සිතීමට තරම් එම නවකතා තාත්වික ගුණයෙන් ඉහළය. ප්ලොබෙයාර් ගේ නවකතාව කියවූ ප්‍රංශ කාන්තාවන් පවසා ඇත්තේ ප්ලොබෙයාර් මේ ලියා ඇත්තේ ඔවුන්ගේම කතාව බවයි. යම් නවකතාවක් කියවීමෙන් අනතුරුව පාඨකයින් ලෙස අප සිතෙහි මෙවැනි හැගීමක් පහළ වන්නේ නම් එය විශ්ව සාධාරණ වූ ගුණයෙන් යුතුවූ නවකතාවක් වශයෙන් අපට සැලකිය හැකිය. නවකතාවක කතා සන්දර්භය එහි රචකයාගේ පමණක් පෞද්ගලික අත්දැකීමක් නොවිය යුතු අතර එය එසේ වූවද සැමට පොදු තත්ත්වයක් සේ දැනිය යුතුය. නවකතාවක් හෝ වේවා වෙනයම් සාහිත්‍ය නිර්මාණයක් හෝ වේවා පොදු තත්ත්වයට හෙවත් විශ්වීය තත්ත්වයට පත් වන්නේ එවිටය.

කතා සන්දර්භය
                යම් සාහිත්‍ය කෘතියකට ස්වාධීනව පහළ විය නොහැකි බවත් යම් සාහිත්‍ය කෘතියක් පහළ වන්නේ එය අයත් යුගයේ, සමාජයේ, ඓතිහාසික සංස්කෘතික ආදී බලවේගයන් පසු බිම් කරගෙන බවත් පිළිගැනේ. ඒ අනුව සාහිත්‍ය කෘතියක් අධ්‍යයනයේ දී මානව වින්දනයේ පරිපූර්ණත්වය අතින් එය භජනය කරන ස්ථානය කෙරෙහි විශේෂ අවධානයක් පැවතිය යුතුය.සාහිත්‍යයේ එක් ප්‍රබල ශාඛාවක් වන අධ්‍යතන නවකථාව උදාහරණ වශයෙන් ගතහොත් එය මිනිස් සමාජය අවංකවත්, අර්ථවත් ලෙසත් ප්‍රතිනිර්මාණය කිරීමට දැරූ ප්‍රයත්නයක් ලෙසින් හඳුනාගත හැකිය. මිනිසා අතර මෙන්ම මිනිසා හා සම්ප්‍රදාය, සංස්කෘතිය, ආර්ථිකය, දේශපාලන යනාදී බලවේගයන් අතර  පවත්නා හොඳ නොහොඳකම්, ගැටීම් ආදිය නවකතාවෙන් නිරූපණය වන අතර පවුල, ජාති ආගම්, පන්ති ආදී සමාජ ආයතන තුළ මිනිසා ක්‍රියාකරන සැටිත් ප්‍රකාශ වන්නේය.

තේමාත්මක පසුබිම
ඒ අනුව බොහොමයක් නවකතාවල තේමාත්මක පසුබිම් බවට පත්වන්නේ පවුල්සංස්ථාව(ආදරය, ප්‍රේමය, විවාහය, ලිංගිකත්වය, ගබ්සාව, දික්කාසදය.) , කුල භේදය, පංති භේදය (ධනේශ්වර-නිර්ධන), ආගම් භේදය යනාදී කාරණාවන්ය. එහි දී පාලුව, තනිකම, හුදකලාව, ඊර්ෂ්‍යාව, මාන්නය ආදීවූ සංකීර්ණ මනෝභාවයන් නිරූපණය කරමින් සිය තේමාත්මක පසුබිම ශක්තිමත් කර ගැනීමට රචිතයන් උත්සාහ දරයි. ඕනෑම නවකතාවකින් සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සාධකයන් ඉස්මතුව පෙනීම නොවැලැක්විය හැකි කාරණයකි. මෙකී සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ලක්‍ෂණයන් නවකතාව ගොඩනගන ලද සමාජයට පමණක් අනන්‍්‍ය වූ ගති ස්වභාවයන් ප්‍රකට කරන්නේ නම් එය විශ්වීය වශයෙන් සාධාරණ වූ කෘතියක් ලෙස අගය කල නොහැකිය. එකී තේමාව භෞමික අඛණ්ඩතාවය බිද හෙළමින් කඳු හෙල් ගංඟා පර්වත පසු කරමින් ගොස් ඕනෑම සමාජ සංස්කෘතියක ජීවත් වන්නාවූ මිනිසුන්ගේ ගූඪ ගති ස්වභාවයන් ටආමන්ත්‍රණය කිරීමට තරම් දක්ෂ එකක් විය යුතුය.

පුද්ගල විවරණය
                මිනිසුන් ලෙස පිළිගන්නා අප කුමන රටක, කුමන සමාජයක ජීවත් වුවද සමාන වූ අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන්නෝ වෙමු. එකී අවශ්‍යතාවයන්ට චීනයද - ජපානයද ? , කොරියාවද- අයර්ලන්තයද ? , ශ්‍රීලංකාවද- අමෙරිකාවද ?  කියා වෙනසක් නොමැත. මිනිසුන් ලෙස අප තුළ පවත්නා හැගීම්, උවමනාවන් හා අවශ්‍යතාවයන් සම්පූර්ණකර ගැනීම සඳහා අප කතා කරන්නේ කුමන භාෂාවක් ද ? වර්ණය සුදු ද ? කළු ද ? උෂ්ණ පළාත ද ? ශීත පළාත ද ? කියා වෙනසක් නොමැත. අප හැමෝටම බඩගින්න දැනේ. ආදරය දැනේ. දුක දැනේ. භයට පත්වේ. මේවා සියලු මනුෂ්‍යයන්ට පොදු වූ ධර්මතාවයන් ය.  නවකතාවක අන්තර්ගත වන්නේ මෙකී ලක්‍ෂණයන්ය. ප්‍රධාන වශයෙන්ම රචකයාගේ දෘෂ්ටිය මත පිහිටා මිනිසා සතුවූ මෙකී ලක්‍ෂණයන් නිරූපණය වේ. නවකතාවක අන්තර්ගත වන්නාවූ මෙකී මානව ගති ස්වභාවයන් සෑම සංස්කෘතියක්ම සෑම ජනවර්ගයක්ම ආක්‍රමණය කරන්නේ කෙසේ දැයි යට කියන ලද  කෘති පහා ඇසුරෙන් විමසිය හැකිය.
                ප්ලෙබෙයාර්ගේ මදාම් බොවාරිනම් නවකතාව සිංහලයට පරිවර්තනය වන්නේ එමාබොවාරිනමිනි.එමා බොවාරි නවකතාවෙන් මූලික වශයෙන්ම නිරූපණය කරන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් ඇති දෙදෙනෙකුගේ එක්වීමක් හේතුවෙන් විනාශවන පවුලක් පිළිබඳ කතාපුවතකි. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා තේරුම් නොගැනීම හෝ වටහා නොගැනීම මත සිදුවන විශාල ඛේදනීය තත්ත්වයක් පිළිබඳ කතාවක් මෙමගින් විවරණය වේ. අධ්‍යතන තත්ත්‍ය සමාජ සංස්ථාව තුළ බොහෝ සෙයින්ම දක්නට ලැබෙන මෙම ලක්‍ෂණය ප්‍රංශයට පමණක් ආවේණික නොවන්නකි. එය කවර සමාජයක කවර සංස්කෘතියක වුවද පවුල් සංස්ථාව සියුම් අයුරින් ස්පර්ශ කරන්නක් බවට පත්වේ. එකිනෙකා තේරුම් නොගැනීම මෙන්ම අවබෝධ කර නොගැනීම මත සිදුවෙන විශාල පවුල් ආරවුල් පිළිබඳ කතා පුවත් දෙස් විදෙස් නොයෙක් ප්‍රදේශයන් තුළින් අහන්නට දකින්නට ලැබේ. එමා බොවාරි නවකතාව තුළ ප්‍රධාන චරිතයක් ලෙස ඉස්මතුව පෙනෙන එමාට නිරන්තරයෙන්ම සිය සැමියාගේ ආදරය, රැකවරණය හා මානසික අවධානය අවශ්‍යවූ අතර ඇයගේ සැමියා වන චාල්ස්ට අවශ්‍ය වූයේ සතුටින් සිටින තම බිරිදට හොඳ ස්වාමි පුරුෂයෙක් වීමට පමණී. එමෙන්ම සිය බිරිදත් සමග කායික ඇසුරට එහා ගිය දෙයක් ඔහුට අවශ්‍යවූ බවක් නොපෙනේ. එමා විසින් පිළියෙල කර දෙන නොයෙක් රස කෑමජාති කා බී බඩ පුරවා ගන්නා චාල්ස් අපතයකු මෙන් ඉක්මනට නින්දට යයි. කාන්තාවකගේ සිතැගියාවන් නොහඳුනන්නකු වූ ඔහු දොස්තරකු වූයේ මන්දැයි යමෙකුට සාධාරණ ප්‍රශ්ණයක් ඇතිවිය හැකිය. චාල්ස් වැනි පිරිමින් ප්‍රංශයට පමණක් ආවේනික වූ සත්ව කොට්ඨාශයක් නොවේ. එවැන්නන් අද ඕනෑම සමාජයක කොතෙකුත් අපට දක්නට ලැබේ.
                ගැහැනියට නොයෙකුත් ශාරිරීක වද හිංසාවන් පමුණුවමින් ලිංගික තෘප්තියක් ලබන පිරිමින් ඇගේ සතුට පිළිබඳ බිඳකුදු අවධානයක් යොමු නොකරයි. තම නිරුවත් බිරිඳ නිවස වටා දුවන ආකාරය දකින්නට ආශාකරන පිරිමි පිළිබඳ කතා මෙන්ම, උගත් උපාධි ධාරී පිරිමින් පවා පහත් ලෙස ලිංගික චර්යාවේ යෙදෙමින් තෘප්තියට පැමිණ තම බිරිඳගේ යෝනී ප්‍රදේශයට මුත්‍රාකර නැගිටින කතා පිළිබඳ පුවත් වර්තමාන ශ්‍රී ලාංකික සමාජයෙන් අද අහන්නට දකින්නට ලැබේ. බුදු දහමින් සංවර කරනු ලැබූ විසිහතර පැයේම බණ කියන බෞද්ධ ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවේ තත්ත්වයද රුසියන් සමාජයෙන් වෙනස් නොවේ. රුසියානු ලේඛක ටොල්ස්ටෝයි සිය ක්‍රොයිට්සර් සොනාටානවකතාවෙන් නිරූපණය කරන ලද පෝඩ්නෂේෆ්ගේ චරිතියද එවැන්නකි. විශ්ව විද්‍යාල උපාධිධාරයෙක් වන මොහු කලක් උසස්පෙළපතේ මාෂල් වරයෙකු ලෙසද සේවය කර ඇත. මොහුගේ තරුණ කාලය බොහෝසෙයින්ම සල්ලාල වූවක් වන අතර ඔහු ගණිකා නිවාසවලට යාමට පෙළඹුනේ වයස අවුරුදු පහළොව දි තරම් කුඩා වයසක දී ය. ගැහැනුන් විශාල සංඛ්‍යාවක් හා ලිංගික සේවනයේ යෙදුන මොහු අවසානයේ දී එක් යුවතියක් හා පෙමින් බැඳෙමින් ඇයව විවාහකර ගත්තේය. විවාහයෙන් පසුව උදාවූ මධුසමය ඔහුට නීච තත්ත්වයක් ලෙස දැනෙන්නට විය. ඔහුම ප්‍රකාශ කරන ආකාරයට ඔහුගේ ලිංගික හැසිරීම තිරිසන්, නීච, ලැජ්ජානැති එකක් විය.එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ සහකාරිය වියරු තත්ත්වයට පත්ව ඔහු දෙස කෝපයෙන් හාවෛරයෙන් බැලීමට පෙළඹීමයි. මේ තත්ත්වය දිගටම පැවතීමේ ප්‍රතිඵලයක් වූයේ ඔහු විසින්ම නිවසට ආරාධනා කල තෘහචෙස්කිනම් වාදකයා මුල් කොට ගනිමින් ඇගේ මරණය සිදුවීමයි. එයට ප්‍රධාන හේතුව බවට පත්වූයේ ඔවුන් දෙදෙනා පිළිබඳව ඔහුගේ සිතේ පැවති සැකයයි.
                ‛‛ඈ ගැන මගේ තිබුනු කායික ආශාවත් තෘහචෙස්කි ගේ තිබුණු කායික ආශාවත් ඔවුන් දෙදෙනා ඒ ආශාව මුදුන්පත් කර ගත්තාද යන්නත් හිතමින් සංත්‍රාසයත් , බලවත් කෝපයත් මගේ හදවත මිරිකන්නට පටන්ගත්තා’’
                මෙම අවස්ථාව පෝඩ්නෂෙෆ් ගේ සිතෙහි පැවති සැකය මතුකර පෙන්වන එක් අවස්ථාවක් ලෙස නිදසුන් කොට දැක්විය හැකිය. අධික ලිංගික ආශාව, ද්වේශය, අමනකම, මුසාව, බොරු අහංකාරය, ඊර්ෂ්‍යාව හෝ සැකය වැනි දුබලකම් හේතුවෙන් මෙම පවුල් සංස්ථාව බිදි විසිරී යන ආකාරය ටෝල්ස්ටෝයි කදිමට නිරූපණය කර ඇත. මෙය වූ කලී රුසියන් සමාජයේ පවුල් සංස්ථාවක් විෂයෙහි ලා පමණක් බලපවත්වන්නක් නොව ඕනෑම සමාජයක පවුල් සංස්ථාවක් විෂයෙහි සාධාරණ වන්නකි.ඕනෑම සමාජයක පවුල් සංස්ථාවක් බිදී විසිරුවා හැරීමට ඉහත කී ලක්‍ෂණ විශාල වශයෙන් බලපෑමක් කරන ලද බව පෙනේ. ප්‍රමාණයට වඩා අධික වූ සැකය හේතුවෙන් සැමියා විසින් බිරිද කපා කොටා ඝාතනය කරන ලද පුවත් රුසියාවට පමණක් ආවේනික නොවන්නකි. එය වූ කලීවිෂමාකාරී මිනිසා ජීවත්වන ඕනෑම තැනක සිදුවිය හැක්කකි.
                මෙකී ලක්‍ෂණයන් නිසා බිද වැටෙන පවුල්වල වාසය කරන කාන්තාවන් ඩැහැගැනීමට ගොදුරු සමාජය මාන බලමින් සිටී. එලෙස මාන බලන පිරිමින් ප්‍රංශයේ, රුසියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ද සිටී. තවත් සමාජයකද අනිවාරයෙන්ම සිටිනු ඇත. එමා බොවාරි නවකතාව තුළ නිරූපිත ලියොන්’ ,‛රුඩොල්ෆ්වැන්නවුන්ගේ චරිත මගින් ද, ‛ක්‍රොයිට්සර් සොනාටාවේ නිරූපිත වාදකයාගේ චරිතය හරහාද ගත් කතුවරුන් නිරුපණය කිරිමට උත්සාහ දරා ඇත්තේ එකී සමාජ යථාර්තයයි.
                තුරුණු ගැහැණු සිතකට නෙත පිනවන ආරම්මණයක් බවට පත්වෙන හැඩි දැඩි පුරුෂයෙකු කෙරෙහි ස්ත්‍රියක ප්‍රේමයෙන් බැදීම අරුමයක් නොවේ. එය ඕනෑම සමාජයක වෙසෙන්නාවූ ස්ත්‍රී චෛතසිකයේ ඇතිවන ස්වභාවික තත්ත්වයකි.  යොන්විලට පැමිණි පසු ස්වර්ණසිංහ හෝටලයේදී එමාට මුණ ගැසුනු තරුණයෙකු වන ලියොන් පිළිබඳ සිහිපත් කළ එමා ඔහු නොයෙක් අවස්ථාවල තමාට කී දේවල් මතක් කලාය. ‛‛ඔහුගේ කටහඬ හා ඔහු පිළිබඳ හැම දෙයක්ම සිහිකළ එමා චුම්බනයකට මුව පුදන්නියක මෙන් දෙතොල් එක්කොට ‛‛අනේ ඔහු කොතරම් ලස්සන තරුණයෙක් ද ? ඔහු ගැහැණියකට ආලය කරනවද දන්නේ නැහැ. ඔහු ආලය කරනවා ඇත්තේ කාටද ? ඔහු ආලය කරන්නේ මටයි. වෙන කාටවත් නොවේ, මටයි’’ ඇය කිහිප වරක්ම තමාටම කියා ගත්තාය. ’’
                ලියොන්ට පමණක් නොව ලියොන්ගෙන් පසුව එන රුඩොල්ෆ්ටත් ඇය මහත් ආසක්ත බවක් දැක්වීය. එම ආසක්ත බවට ප්‍රධාන හේතුවවූයේ සැමියා විසින් ඇයව අවබෝධ කර නොගැනීමයි. ඇයට අවශ්‍ය කරන මානසික අගය කිරීම නොලැබී යාමයි. රුඩෝල්ෆ්ගේ හැඩි දැඩි සිරුර දැක වශීකෘත භාවයට පත් වූ එමා ඔහුගේ එඩිතරකම ගැන ආඩම්බර වූවා පමණක් නොව සැමියාට හොර රහසේම සිය පෙම්වතා සොයා ගොස් ඔහු සමග ආලයෙන් ද වෙලුනාය. ගැහැනියකට අවශ්‍ය කරන ආදරය, අවදානය නොලැබෙන කල වරදේ බැදීම එමාගේ පමණක් නොව සමස්ථ ස්ත්‍රීවර්ගයාගේ ම පොදුවූ ගති ලක්‍ෂණයකි.
වර්තමාන සමාජ පරිසරය අතිශයින්ම සංකීර්ණය. විද්‍යාව, තාක්‍ෂණය දියුණු විමත් සමග මිනිස් ජීවිත හා බද්ධ වූ සෑම අංගයක්ම බාහිර වශයෙන් දියුණුවට පත්වී ඇත. සරල අවශ්‍යතා වෙනස් වී සංකීර්ණ අවශ්‍යතා ඇති වී තිබේ. මේ නිසාම මිනිසා අතෘප්තියට, අසහනයට පත්වේ. මෙවැනි පරිසරයක, සංකීර්ණ සමාජයක ජීවත්වන නූතන මිනිසා ගැටලු රුසකට මුහුණ දෙයි. කවර කාලයක, කවර යුගයක ජීවත්වුවද මිනිසා මුහුණ දෙන්නේ සනාතන ගැටලු සමුදායකටය. ගැටලුවලට විවිධ හේතු බලපෑවද , ඒවා කාලානුරූපව වෙනස් වීමට ඉඩ ප්‍රස්ථාව තිබුණද , ගැටලුවේ ස්වභාවය අවසානයේ මිනිසා කායික සහ මානසික දුකකට උරුමකම් කීමයි.
ප්ලොබෙයාර් මේ තත්ත්වය නිරූපණය කරන්නේ එමාගේ චරිතය තුළින්ය.  ඇගේ ආශාවන් අසීමිතය. ඇයට දියුණු වීමට හා සැප විදීමට තදබල ආශාවක් පවතී. ඇය මධ්‍යම පාන්තික, සාපේක්‍ෂ වශයෙන් නූගත් පවුලක උපත ලැබූවද ඇයට අවශ්‍ය වන්නේ ඉහළ මන්දිරවල ගත කරන ජීවිතයක් උදා කර ගැනීමටයි. ඇය නිතරම සිහින දකින්නේ ඒ පිළිබඳවයි. බොළඳ නවකතා කියවීමෙන් මනස වියවුල් කර ගත් එමා එම නවකතාවල ජීවත්වන චරිතයන් අනුකරණය කරන්නට වෙහෙසුනාය.
ඇය නිතරම පමණට වඩා වියදම් කල තැනැත්තියකි. සමහර අවස්ථාවල ඇයට නුවමනා දේ වෙනුවෙන් පවා ඇය මුදල් නාස්ති කළාය. එහෙත් බොළඳ නවකතා මගින් නිරූපිත සුන්දර ලෝකය තත්‍්‍ය සමාජය තුළ නොමැති බව දුටු එමා මානසික වශයෙන් විශාල කැළඹිමකට පත්විය.  එහි ප්‍රතිඵලය වූයේ ඇය මානසික වශයෙන් පීඩා විදීමයි. ඇගේ මෙම වියරු වැටීම ප්ලොබෙයාර් නිරූපණය කරන්නේ සාර්ථක මනෝ චිකිත්සකයකුගේ භූමිකාවේ සිටය. ඇගේ මෙකී මනෝභාවය වඩාත් වික්‍ෂිප්තභාවයට පත්වන්නේ වංශාධිපතියාගේ බාලට ගොස් පැමිණීමෙන් අනතුරුවයි. ප්ලොබෙයාර් එය සිය කතාව තුළ ගොඩනගන්නේ පහත ආකාරයෙනි.
‛‛බාලට ඇන්ද ලස්සන ඇදුම හා පය ලා නැටූ විල්ලුද පාවහන් යුවල ඈ මහත් භක්තියෙන් හා ආදරයෙන් ආරක්‍ෂාකොට තැබුවාය. නැටුම්හලේ බිමගාන ලද ඉටි තවමත් පාවහන් අඩියේ රැදි ඇත . ඇගේ සිතද ඉටි තැවරුනු ඒ පාවහන් වැන්න.’’ (එමා බොවාරි 67 පිට)
මිනිසා දුක සැප හමුවේ විවිධ අයුරින් ක්‍රියාකරයි. මනස දියුණුකළ පුද්ගලයා ඒ අවස්ථාවලදි විධිමත්ව බුද්ධිමත්ව ක්‍රියාකරනු ලබයි. එදා මෙදා තුර මේ මානුෂීය ඝට්ටන විවිධාකාර අයුරින් මිනිසාට බලපෑමක් ඇති කරයි. ඒ බලපෑම හමුවේ මිනිසා ක්‍රියාකලයුතු ආකාරය මිනිසා විසින්ම දත යුතුය.
අප කණ්ඩායමක් වශයෙන් එකට ජීවත් වන විට විවිධාකාර වූ මිනිසුන් මුණ ගැසේ. එකෙකුගේ චර්යාව හා ගති ස්වභාවයන් සාකල්‍යයෙන්ම තවකෙකුට වඩා බොහෝ වෙනස්ය. අප එකෙක් සිතන ආකාරයට තවකෙක් නොසිතයි. එබැවින් අපි ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණදෙන ආකාරයද කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස්විය හැකිය. කණ්ඩායම් ආශ්‍රයේදී අපට හිතහොද අවංක මිතුරන් මෙන්ම කපටි දීන ගති ඇති මිනිසුන්ද මුණගැසේ. ආත්මාර්ථකාමි, වංචාසහගත තමන්ගැන පමණක් හිතමින් අනුන් වලට ඇද දැමීමට උගුල් අටවන්නන් සමාජයේ දුලභ නොවෙති.කේලම් කියන්නන් මෙන්ම යටි උගුල් අටවන්නන් ද ඕනෑම රටක , ඕනෑම සමාජයක, ඕනෑම සංස්කෘතියක දක්නට ලැබේ.
සොසේකි තත්සුමේ සිය බොච්චන්නවකතාවෙන් නිරූපණය කිරීමට උත්සහා දරන්නේ එම සමාජ යථාර්තයයි. ඔහුගේ මෙම කෘතිය පුංචිහාමු’ , ‛අවංක ගුරුවරයෙකුගේ කතාවයන නම් වලින් සිංහලයට පරිවර්තනය වී ඇත. මෙහි මූලික කතා අර්ථය වන්නේ දුෂ්කර පාසලක ගුරු සේවයට යන පුංචිහාමු නම් පුද්ගලයෙක් එහිදී මුණගැසෙන වංචාකාරී කපටි සහගත මිනිසුන් සමඟ වාසය කිරීමට නොහැකිව නැවත සිය ගම වූ තෝකියෝවට පැමිණන සිදුවීමකි. එහි දී ඔහු නැවත තෝකියෝවට පැමිණෙන්නේ ප්‍රශ්ණවලට මුහුණ දීම සඳහා ඔහු දුර්වලයෙකු වන නිසා නොව ඔහු අවංක ගුරුවරයෙකු වන නිසාය. ‛‛මම අහිංසකයෙක්මි එහෙත් මෙහි වසරක් දෙකක් ගත කොළොත් මටද මේ නරක ගති පුරුදු වනු ඇත.’’ මෙම අවස්ථාව බොච්චන් වංචාකිරීන්ව හා තමන්ව සන්සන්දනය කරමින් සිතන අවස්ථාවකි.
බොච්චන් නවකතාවෙන් නිරූපිත සාහිත්‍ය ගුරුවරයා නැතිනම් පීඨාපතියා නොහොත් රතුකමිස කාරයා මෙන්ම චිත්‍රකර්ම ගුරුවරයා හෙවත් බහුබූතයා වැනි යටි උගුල් අටවන අනුන්ට විනකරන, තමන්ගේ ඔළුවේ අසූචි තියාගෙන තමන් පිරිසිදු බව අන්‍යන්ට ප්‍රකාශ කරන පුහු මාන්නක්කාර, අහංකාර ආඩම්බර මිනිසුන් ඕනෑම සමාජයක දක්නට ලැබේ. සොසේකී ජපානයේ සිට මෙම කෘතිය රචනා කළද එය අපේ සමාජයේ අපත් සමග එකට වාසය කරන්නන් පිළිබඳ කියන ලද කතාවක් යැයි සිතෙයි.
‛‛ඔහේ කියන්න වගේ හරිදේ කරන එක හොඳ තමා. නමුත් මිනිස්සු අටවන උගුල්වලින් බේරෙන්න ඒක විතරක් මදි. උන් කොයි තරම් නරකද කියලා අපි දැන ගන්න ඕනි. බොහොම ප්‍රසන්න විවෘතව කතාකරන ඒ විතරක් නෙමේ බොහොම කාරුණික විදියට ඔහේට නවාතැන් වුනත් හොයලා දෙන අය ඉන්න වග දන්නවානේ. අන්න ඒ අය ගැන විමසිල්ලෙන් ඉන්ඩ ඕනැ.
මේ චාටුකාර රතු කමිස කාරයගේ වංචා සහගත යටි උගුල් අඳවන වඳන් කවි වේ.
බොච්චන් වැනි එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් ඇති, කෙළින් වැඩ කරන ,කිවයුතු දේ මුහුණටම ප්‍රකාශ කරන, කිසිවෙකුට කිසිවකට ගැති නොවන, අවංක අදහස් හා ගති පැවතුම් ඇති, නොදන්නා බව හා නොහැකි බව පිළිගන්නා, අවංක මිනිසුන් අද සමාජයක සුලබ නොවෙතත් දුලබද නොවේ. එවැනි මිනිසුන්ද ඕනෑම රටක, ඕනෑම සමාජයක වාසය කරන්නන් වෙති.
සිය එමාබෝවාරි නවකතාව තුළපොලොබෙයාර් විසින් නිරූපණය කරන ලද හොමාරිස් වැනි දීන කපටි,සිය වාසිය තකා පමණක් මිනිසුන් ආශ්‍රය කරන චරිතයන්ද අද සමාජයේ සුලභවෙති. කපටිකමෙන් අනුන් රවටා තමන්ගේ මඩිස්සලය තරකර ගැනීමට වෙර දරන රෙදි වෙළෙන්දා වැනි චරිත ද අද කොතෙකුත් දක්නට ලැබේ.
‛‛ ඒ ගැන කරදර වෙන්න එපා. මුදල් නැත්නම් පස්සේ වෙලාවක ගමු’’
මෙලෙස බොරු දයාවක් මවාපාමින් තමා මගහැර යන්නට උත්සාහ කරන පාරිභෝගිකයන් අල්ලා ගැනීමට යත්න දරන කපටි වෙළඳුන් ඕනෑම රටක දක්නට ලැබේ.
ජීවමය වූ සුන්දර පරිසරයක් පිළිබඳ කෙරෙන අපූර්ව වර්ණනයක්, මෙන්ම එම පරිසරයට ආදරය කරන්නවුන්ගේ ගති ලක්ෂණයන් හා එම වනගත පරිසරයේ ජීවත්වන අන්ත දිළිඳු ජනතාවගේ ජීවිත දෙස හෙලන ලද සානුකම්පිත දෘෂ්ටියකින් කරන ලද අරණකට පෙම්බැඳකෘතියේ පවත්වන්නාවූ විශ්ව සාධාරණ ලක්‍ෂණයක් ගැන විමසීමේ දී එමගින් නිරූපිත කුල සංකල්පය වඩා වැදගත් තැනක් ගනී. එපමණක්ද නොව පීඩිත ජනයා ගතකරන අනේකවිද වූ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ වූ විවරණයක් ද මෙමගින් ඉස්මතුකොට පෙන්වයි.
මෙම වනාන්තරයේ සිටින ජනතාවගේ අන්තවූ දිළිඳු බව එක් වාක්‍යයකින් පමණක් පසක් කර ගැනීමට පාඨකයා සමත් වනු නොවනුමානය. ‛‛ඔවුන් ඇවිත් ඉන්නේ බත් කන්න’’ යනාදි ස්ථානයන්  එම ක්‍රූර දිළිඳු බව මතු කර පෙන්වන තැන්ය. මෙලෙස දුකවිදින පිරිසක් , බත් කන්නට නොමැතිව චීන හාල් බැඳ පැණිත් එක්ක කන , එහෙමත් නැතිනම් මීකිරි, නිවිති හෝ සූකිරි කා බඩ පුරවා ගන්නා පිරිසක් ,ඉන්දියාවේ පමණක් නොව කෑම අතින් වෙනස් වුවද ඉතියෝපියාව වැනි රටවලද වාසය කරනු ලැබේ. ලංකාවේද මේ තත්ත්වය මේ තරම්ම උග්‍රලෙස දක්නට නොලැබුණත් දිළින්දන් ,පීඩිතයන් සෑම රටකම වාසය කරනු දක්නට ලැබේ. ධනේෂ්වරයේ අතකොලු බවට පත්වන ඔවුන් වේල පිරිමහ ගැනීම සඳහා ධනේධෂ්වරයන් ඉදිරියේ හිස නමති. ඔවුන්ගේ බල පුළුවන් කම්වලට නගුට නවා ගත් බල්ලන් සේ බිය ගුළු වෙති. ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික බල පුළුවන් කාරකම් මත ලබන මෙම පීඩනය ඉන්දියාවට පමණක් නොව සමස්ත විශ්වයටම එකසේ බලපාන්නකි.
මෙම කෘතියෙහි එන කුන්තාවැනි කුලයෙන් පහත් මුස්ලිම් කාන්තාවන්ට පමණක් නොව ඕනෑම ජාතියක කුලයෙන් පහත් කාන්තාවන්ට මුහුණ පාන්නට සිදුවන ඉරණම කුන්තා මුහුණ පෑ ඉරණමට වෙනස් නොවන්නකි. පහත් කුලයක කාන්තාවක් වූ ඇයව කිසිම ගෙදරකට වැද්ද නොගත් අතර ඇයව බොහෝසෙයින් පහත් කොට සලකා නෙරපා හරින ලදී. ඒ සමාජයේ බොහෝ උසස් කොට සැලකූ කුලයන් ලෙස ගංගෝතා කුලය මෙන්ම ගොවි කුලය නම් දරා සිටින පරිද්දෙන්ම විවිධ රටවල විවිධ නාමයන්ගෙන් හැඳින්වෙන මෙම කුල සංකල්පය දැකිය හැකිය. උදාහරණ වශයෙන් ශ්‍රී ලාංක්‍රීය සමාජය තුළ ගොවිගම, රොඩී, ඩෝබි, කරාව, බෙරවාය, පද්දො ආදී ලෙස බෙදී ගිය විවිධ කුලයන් දක්නට ලැබේ. මෙයින් ඉහලම කුලය ලෙස සැලකෙන්නේ ගොවිගම කුලයයි.
                මේ අනුව විමසන විට පෙනී  යනු ලබන කරුණක් වන්නේ යම් සාහිත්‍ය කෘතියක් මගින් නිරූපණය කරනු ලබන පුද්ගල චරිත, ජීවන දර්ශන, හා විවරණ ආදී අංග එම කෘතිය බිහි වු සමාජයට, හෝ සංස්කෘතියට පමණක් ආවේනික වන්නක් නොව භෞමික අඛණ්ඩතාවය, කාලානුගත බව යනාදිය ද අතික්‍රමණය කරමින් සෑම රටකටම පොදු වූ තත්ත්වයක් ලෙසින් විවරණය වන බවයි. ඒ අනුව විමසන විට නවකතාව නම් සාහිත්‍යාංගය ද විශ්ව සාධාරණ ගුණයෙන් යුක්ත වන්නාක් ලෙසින් අගය කළ හැකිය.







ආශ්‍රිත ග්‍රන්ථ
1.            පෙරේරා, සිරිල්  සී. (පරි:), ගුස්ටාව් ප්ලොබෙයාර්ගේ එමා බොවාරි, (2011 දහවන මුද්‍රණය), කොළඹ: ප්‍රදීප   
              ප්‍රකාශකයෝ.
2.            තත්සුමේ  සෝසෙකි, බොච්චන්
3.            සමරසිංහ ඇස්. ජී. (පරි:), ලියෝ ටොලිස්ටෝයිගේ ක්‍රොයිට්සර් සොනාටා, (2003 - තෙවන මුද්‍රණය),
              නුගේගොඩ: දීපානි ප්‍රකාශන .
4.            සෝමතිලක ආරියදාස (පරි:), චිනුවා ඇචිබිගේ මුහුද ගොඩගලා, (1986), පානදුර: සූරිය ප්‍රකාශකයෝ.
5.            චිත්තාලක්‍ෂමි සිංහ ආරච්චි (පරි:), විභූතිභූෂණ බන්ද්‍යෝපාධ්‍යාය ගේ අරණකට පෙම්බැඳ, (2003 තෙවන
               මුද්‍රණය), මුල්ලේරියාව: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය.
6.            විජේසූරිය සරත්, නිර්මාණ අධ්‍යයනය, (2002 පස්වන මුද්‍රණය), මුල්ලේරියාව: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය.
7.            කේ. ජයතිලක, සාහිත්‍ය නිර්මාණයේ මුල්පොත, (2007 තුන්වන මුද්‍රණය), කොළඹ ප්‍රදීප ප්‍රකාශකයෝ.
8.            අබේසිංහ ඩබ්ලියු. ඒ. , ලෝක පූජිත ලේඛක වතගොත, (2003), වරකපොළ: ආරිය ප්‍රකාශකයෝ.
9.            පෙරේරා ටෙනිසන්, නවකතාවක් ලියන්නේ කෙසේද ? ,(2005), කොළඹ: ඇස් ගොඩකේ සහ
              සහෝදරයෝ.
10.          සුරවීර ඒ.වී., සමාජීය සාහිත්‍ය අධ්‍යයනයක් , ( 2002 -2 වන මුද්‍රණය), කොළඹ: ගොඩගේ
             පොත් මැදුර.
 

2 comments:

  1. වැදගත් ලිපියක්. ස්තූතියි ඔබට

    ReplyDelete
  2. "බොච්චන්" ලියූ ශ්‍රේෂ්ඨ ජපන් ලේඛකයාගේ නම තත්සුමෙ සෝසෙකි නොව
    නත්සුමෙ සෝසෙකි ය. න යන්න වෙනුවට ත යන්න වැදී ඇත්තේ අකුරු ටයිප් කිරීමේදී වූ අතපසු වීමක් යයි මුලින් සිතුවද දෙතැනක ම එසේ *තත්සුමෙ* යයි තිබූ නිසා මෙය ලියමි.
    නත්සුමෙ සෝසෙකි ලේඛකයානන් ගේ කෘති අතරින් ඉතාම අග්‍ර වූ නිර්මාණයක් ලෙස සැලකෙන "කොකොරො" (හදවත නම් අරුතැති ජපන් වචනය) නම් කෘතිය ඒ නමින්ම තදෂි නොගුචි නැමති ජපන් ජාතික ලේඛකයා විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබීය. එය ලේක්හවුස් ප්‍රකාශනයක් ලෙස 1979 හෝ 1980 දී එලි දක්වන ලදී.

    ReplyDelete