Thursday, September 12, 2013

ගීතයේ අන්තර්ගත බෞද්ධ සංකල්ප ( වික්ටර් රත්නායකයන් ගායනා කර ඇති ගී ඇසුරෙන් )





ගීතයේ අන්තර්ගත බෞද්ධ සංකල්ප

( වික්ටර් රත්නායකයන් ගායනා කර ඇති ගී ඇසුරෙන් )





හැඳින්වීම

                අප සාහිත්‍ය කෘතියක් පරිශීලනය කරන්නේ හෝ රසවිඳින්නේ එය කවර හදවතක් තුළ වුව මතුවන නිවහල් චින්තනයේ මාධ්‍යයක් වන බැවිනි. සාහිත්‍ය, සංගීතය, කලාව, යන මේවායින් තොර වූවන් වල්ග හා අං නොමැති මෘගයන් වැනියයි” “භර්තෘහරීනම් මහා කවියා පවසා ඇත. සාහිත්‍යයයන වචනය ප්‍රභවය වී ඇත්තේ සංස්කෘත සහිතයන්නෙනි. සියලුම බුද්ධභාෂිත ත්‍රිපිටක ධර්මය බහුම්පි චෙ සහිතං භාසමානොයනාදි තැන්වල සහිතයන නාමයෙන් ව්‍යවහාර කොට තිබීම ද මෙහි දී සැලකිල්ලට ගත යුතුය. ලොව අර්ථ සිද්ධිය සඳහා මනාකොට තබන ලද්දනොහොත් මනාකොට කියන ලද්දයනු සහිතශබ්දයේ තේරුමයි. ඒ අනුව භාෂාවක ඇති ගද්‍ය පද්‍ය කෘති සියල්ලම භාෂා නීති වූ ව්‍යාකරණ ශාස්ත්‍රයත්, කාව්‍ය නීති වූ ඡන්‍දොලංකාර ශාස්ත්‍රයත් අනුව මනාකොට තබන ලද බැවින් හා බුද්ධිමතුන් විසින් මනාකොට කියන ලද බැවින් සාහිත්‍යයන නාමයෙන් හැඳින්වීම යුක්තායුක්ත බව වෑගම පියරතන හිමියෝ පවසති.
                සංගීතය, නෘත්‍යය, වාද්‍යය, ගායනය, සාහිත්‍යය, කාව්‍යය, කැටයම්, මූර්ති ආදි විවිධ කලා මාධ්‍යයන් සෞන්දර්ය විෂයට අයත් සේ සැලකේ. මෙහිලා ගීතය යනු ප්‍රබල සෞන්දර්ය මාධ්‍යයකි.  එයට බෞද්ධ ජන සමාජයේ හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.  ඒ බව සිංහල ගීත වංශයේ බෞද්ධ ගීතවල නියෝජනය කෙතරම්දැයි මැන බැලීමෙන් පැහැදිළි වේ. මේ වන විට ගීතය යනු සමාජයට ඥානය ප්‍රදානය කරන මෙවලමක් බවට පත්ව තිබේ. එහෙයින් ගීතය ඔස්සේ රසාලිප්තව බෞද්ධ සංකල්ප සමාජයට ගෙන යා හැකිය.  අප ගීත රචකයන්, සංගීතඥයන්, ගායක ගායිකාවන් එම කාර්ය කාලාන්තරයක් තිස්සේ ඉටු කර ඇත.  එහි ලා වික්ටර් රත්නායකයන්ගේ භුමිකාව ඇගයීම අපගේ අරමුණයි.
                යට කී කලා මාධ්‍යයන් පිළිබඳ බුදුදහමේ ආකල්පය කෙබඳු ද යන්න විග්‍රහ කිරීම ගීතයේ බෞද්ධ සංකල්ප විමසීමට ප්‍රථම අප විසින් සිදු කළ යුතුව ඇත.  විශේෂයෙන් ම බුදුසමය නෛෂ්ක්‍රම්‍යය පිළිබඳව අවධාරණය කරන බැවින් එය සෞන්දර්යට ප්‍රතිපක්‍ෂ වූ දහමක් ලෙස කෙනෙකුට සිතිය හැක.  බුදුසමයේ මූලික අරමුණ සත්වයාට විඳින්නට වන සියලු සසර දුක්වලින් මිදීමේ මග හෙළි කිරීම බැවින් විරාගයට යොමු කරන දහමක් තුළ සෞන්දර්ය රසවින්දනයක් තිබිය හැකිදැයි කෙනෙකුට සාධාරණ ප්‍රශ්නයක් මතු විය හැකිය. ත්‍රිලක්‍ෂණය මත පිහිටා ලෝකය විග්‍රහ කිරීම, කාමය, රතිය වැනි සංකල්පයන් බැහැර කිරීම, ගීතය, නැටුම, පටිභාන චිත්‍ර වැනි කලා මාධ්‍යයන් ගර්හිත විද්‍යා ලෙස සැලකීම යන කාරණා හේතුවෙන් කෙනෙකු ට මෙම ප්‍රශ්නය මතු විය හැකිය. එහෙත් ඇලීමකින් තොර වූ උසස් කලා රසාස්වාදය භික්‍ෂූන් විෂයෙහි ද සාධාරණ වන බව බුදු මුවින් ම දේශිතය.
                                     ‛‛නතෙ කාමායානි චිත්‍රානි ලොකෙ
                       සංකපපරාගො පුරිසසස කාමො’’
කාමය පවතින්නේ පුද්ගල සන්තානයේ බවත් කලාව යනු බැහැරින් පවත්නා දෙයක් බවත් බුදුන් වහන්සේ දේශනා කොට ඇත.  එබැවින්  දියනොරඳනා නෙළුම් පතක් සේ රාගය උපදවා නොගෙන නිමල දේ තුළ සොඳුරු වින්දනයක් ලැබීමට බෞද්ධ ශිෂ්ටාචාරය තුළ බාධා නැත.
                එහෙත් බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු සසුන් ගත වූ දුශ්ශීල භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය හේතුවෙන් බුදු දහම මෙන්ම කලාව ද ක්‍රමයෙන් පිරිහීමකට ලක් වූ බව පෙනේ.  රාගයෙන් තොර විරාගික උසස් කලා සේවනයක් කළ භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් ලෞකික පැත්තට නැඹුරුවීමක් දක්නට ලැබේ. මේ තත්ත්වය දඹදිව සමාජයේ පමණක් නොව ලක්දිව සමාජයේ ද දක්නට ලැබුණි. සීගිරි කැටපත් පවුරේ ද ලෞකික පක්‍ෂයට නැඹුරු කවි ලියූ භික්‍ෂූන් වහන්සේලා හමු වී තිබේ. මෙයින් බුදු සසුනේ අනාගතය ගැන බිය වූ සලමෙවන් හෙවත් පළමු වන සේන රජතුමා දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය ගුරු තන්හි තබා හා එවකට සිංහලෙන් රචනා වී තිබු අභයගිරි විහාරවාසී කලණමිත් නැමැත්තාගේ ප්‍රණීත අලංකාර ග්‍රන්ථය උපාශ්‍රය කොට ගනිමින් සිදුකරන ලද සියබස්ලකර නම් කෘතියට කාව්‍යාදර්ශයේ දක්නට නොලැබෙන

                  පෙදෙන් බුදු සිරිතැ - බසින් වත් සිරිත් ඈ
                  පද යුතු බසින් නළු ඈ - අනතුරු ලකුණු දක්වමි” (සියබස්ලකර -20 ගීය)

                යන රීතිය දැක්වූයේ බුද්ධ සාසනයත් බුදු දහමත් ආරක්‍ෂා කරගැනීමට බව පැහැදිලි කරුණකි. එතැන් සිට සිය සාහිත්‍ය නිර්මාණ රාජ උදහසට ලක්වේයැයි සිතූ සිංහල කතුවරු පද්‍යයෙන් බුදු සිරිතත්, ගද්‍යයෙන් බුද්ධ චරිතයත් වර්ණනා කළේය. මුවදෙව්දාවත, සසදාවත, කුසදාවත, කව්සිළුමිණ ආදි පද්‍ය කෘතීන් ද අමාවතුර, බුත්සරණ, සද්ධර්මාලංකාරය, ජාතක කතා පොත ආදී ගද්‍ය කෘතීන් ද ඒ සඳහා නිදර්ශන වශයෙන් දැක්විය හැකිය.

                ලංකාවේ දී ලියැවුණු පළමු වැනි බුදු ගුණ ගී සොයාගෙන ඇත්තේ රුහුණෙනි. ඒවා සෙල්ලිපි ගණයට වැටේ. පළමු වැන්න හඳුන්වනු ලබන්නේ කිරින්දේ ගිරිලිපිය ලෙසිනි. එය මෙසේය.
                                 අපරිමිතෙ ලොකහි බුධ
                                 සමෙ නති අඨාන පරම දුලබෙ
                                 සවඤුතපතෙ අනුතරෙ සථෙ
                                 මහසරණෙ (ලො) ක ච (ක) බුධ නම සයභූ

                                 මෙ ගලහි විහරෙ නක
                                 උවර (ජෙන) ම බුධ සරණං
                                 ගතෙ මිචිය දිටික බිඳය
                                 (යහ) (මහ) (පර) (ය) (ණ) භූතෙ
අපරිමිත ලෝකවල අර්ථයන් අතුරෙහි පරම දුර්ලභ බුදුන් හට සමයෙක් නැත්තේය. ( ඒ බුදු රජ ) සර්වඥතාවට පැමිණියේ ය. අනුත්තර ය. ශාස්තෲ ය. මහා පිහිට ය. ලොවට ඇසක් බඳු ය. බුද්ධ නම් ය. ස්වයම්භූ ය. යනු එහි තේරුමයි.

                සලමෙවන් රජුගේ මෙම ග්‍රන්ථයෙන් පසු බුද්ධ චරිතය, බෝසත් සිරිත, පාදක කරගත් නිර්මාණ බිහිවීමක් මූලික වශයෙන් දක්නට ලැබේ.  පසුකාලීනව සිංහල සංගීත ක්‍ෂෙත්‍රයට වේදිකා  බුදුගුණ ගීත ද එකතු වන්නට පටන් ගැනුනි. ඒ නාඩගම් හා වේදිකා ගීත නිර්මාණ ඔස්සේ දහනව වැනි සියවසේ අග භාගයේ පටන් ය. (දහඅට වැනි සියවසේ අග භාගයේ සිට රූකඩ කෝලම් හා නාඩගම් සින්දු ජනප්‍රිය වෙමින් පැවැතියේ ය.) නීතිඥ ජෝන් ද සිල්වා විසින් සිරිසඟබෝ සිරිතනම් වේදිකා නාට්‍යයට රචනා කරන ලද දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධානම් ගීතය මෙයට නිදර්ශණයකි. නාඩගම්වල මෙන්ම මෙම යුගයේ වේදිකා නාට්‍යවල ද බුදුගුණ ගීත එකක් හෝ දෙකක්වත් දක්නට ලැබුණි. බෞද්ධ කථා වස්තූන් තේමාකොට ගත් එම නාට්‍ය ආරම්භව ඇත්තේ යටත්පිරිසෙයින් බුදුගුණ ගීතයකිනි. එය බෞද්ධ ගීත විෂයෙහි සුබ ලකුණක් වුවාට සැක නැත.

                බෞද්ධ කතා වස්තූන් තේමා කරගත් නාට්‍යවලට පසුව වෙසක් කැරොල් ගීතිකා නමින් ගීත විශේෂයක්  පැමිණිම බෞද්ධ ගීතය විෂයෙහි තවත් සාධනීය පියවරක් වූවාට සැක නැත. 1886 දී සිංහල බෞද්ධයන් විසින් වෙසක් භක්ති ගීත නමින් ව්‍යාපාරයක් ආරම්භ කළ බවත්, සිංහල බෞද්ධයන් අතර තිබු යම් යම් උත්සව ලක්‍ෂණ  ක්‍රිස්තියානීන් විසින් නත්තල් වෙනුවෙන් ණයට ගන්නා ලද බවත් පවසන මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා 1874 පමණ වනතුරු පැවති පෙරදිග කවි ගායනයට වඩා වෙනස් වූ ගායන ක්‍රමයක් ද සංගීත ක්‍රමයක් ද මෙම ගීතිකා ඇසුරෙන් ඇති වූ බවත් සින්දු කීමේ ආකාරය නව මුහුණුවරක් ගත් බවත් පැහැදිලි කරයි. පළමු වෙසක් ප්‍රීති ගීතිකාව සී.දොන් බස්තියන් විසින් රචනා කොට පුහුණු කරන ලද අදයි වෙසක් පෝදා - සොම්නස සතුට උපන් දා යන ගීතය සේ පිළිගැනේ.

                පසුව ලංකාවේ ග්‍රුමෆෝන් තාක්‍ෂණය ප්‍රචලිත වීමත් සමඟ ගීත තැටිගත කිරීම ද ඇරඹුණේය. එයට සමාන්තරව බෞද්ධ ගීත ද තැටිවලට නැගුණි.  අවුරුදු පනහක තරම් කාල සීමාවක් තුළ නිෂ්පාදනය වූ ග්‍රුමෆෝන් ගී සමුච්චියෙන් සෑහෙන සංඛ්‍යාවක් බෞද්ධ ගීත හැටියට පෙනීම සතුටට කරුණකි.  ත්‍රිවිධරත්න නමස්කාරය, බෞද්ධ පූජනීය ස්ථාන වන්දනා, සම්බුදු සිරිතට සම්බන්ධ වැදගත් අවස්ථා, බෝධිසත්ව චරිත ආදිය එම ගීත තුළින් වර්ණිත ය. ග්‍රුමෆෝන් ගී අතර බහුතර සාර්ථක රචනා සංඛ්‍යාව ඇත්තේ බොදු බැති ගී විෂයෙහි යැයි මහචාර්ය සුනිල් ආරියරත්නයෝ පවසති.

                 බෞද්ධ ගීතයේ ව්‍යාප්තියට ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය සැලසු මෙහෙවර ද අතිශයින් විශිෂ්ට ය.  එය ආරම්භ වන්නේ විසිවැනි සියවසේ හතළිහේ දශකයේ මැද භාගයේ ය.  ගුවන් විදුලි සේවය විසින් නිෂ්පාදනය කරන ලද තැටි ගීත ප්‍රචාරය වන්නට පටන් ගත්තේ 1946 සිට ය.  සිංහල ගුවන්විදුලි සේවය පළමුවෙන් ම තැටියට නංවා ගත්තේ සුනිල් ශාන්ත විශාරදයන්ගේ ගීතයකි.  අමරදේවගේ ප්‍රථම බුද්ධ වන්දනා ගීතය වන ‛‛වඳිමු සුගත ශාක්‍ය සිංහ’’ යන ගීතය ද තැටි ගත වූයේ මෙම අවධියේ ය.  සැබවින් ම ගුවන්විදුලි ගීත මෙන්ම   ගුවන්විදුලියේ බෞද්ධ ගීත ද නිර්මාණය වීම වර්ධනය වන්නට වූයේ ගුවන් විදුලිය සිංහල ගීතයන් තැටිගත කිරීමට පටන් ගැනීමෙන් පසුව ය.  ගීත නිර්මාණය ක්‍රමවත් වීම ද මේ සමඟ ඇරැඹිණ.  සංගීත ශිල්පීන් හා ශිල්පිණීන් ශ්‍රේණි ගත කිරීම සඳහා මහාචාර්ය රත්නජංකර් පඬිතුමා පැවැත්වූ පරීක්‍ෂණය මීට ප්‍රබල බලපෑමක් කළේ ය. 1958 දී පවත්වන ලද එම පරීක්‍ෂණයේ ප්‍රතිඵලවලින් විශිෂ්ට හා ශ්‍රේණිවලට තේරුණු ශිල්පීන්ට හා ශිල්පිණීන්ට මාස්පතා අඩපැයක සංගීත වැඩසටහනක් ඉදිරිපත් කිරීමට විධි විධාන යෙදුනේ ය. ඒ සමඟ ම එම වැඩසටහන්වලට බුදු ගුණ ගීත දෙකක් ඉදිරිපත් කිරීම ද අවිලංඝනීය නියමයක් විය. මේ හේතුවෙන් කලින් බහුල ප්‍රචාරයෙහි පැවති ප්‍රේම ගීත වැනි සංකල්ප ගුවන්විදුලියෙන් ඉදිරිපත් කිරීම සීමා විය.

                වික්ටර් රත්නායකයන් සංගීත ක්‍ෂෙත්‍රයට අවතීර්ණ වන්නේ මෙවන් පසුබිමක් තුළ ය. ගුවන් විදුලියෙන් සිය ගායන ප්‍රතිභාව පළමු වරට ප්‍රකාශ කිරීමට ප්‍රථම සහජයෙන් ලැබු ගායන හා වාදන හැකියාවත් සමඟ ඔහු බොහෝ දුරක් ගොස් සිටි බව ද සඳහන් කළ යුතුය. මෙහි දී වැදගත් ම දේ වනුයේ ඔහු විසින් සිය පළමු ගුවන් විදුලි ගීතය වශයෙන් බෞද්ධ ගීතයක් තෝරා ගැනීමයි. සිදැ බිඳැ මොහදුරු පාපයන එහි පදරචනය අරීසෙන් අහුබුදුවන්ගෙන් ය.

                වික්ටර් රත්නායකයන් අපට වැදගත් වන්නේ 70 දශකයෙන් පසුව වැඩිම බෞද්ධ ගීත සංඛ්‍යාවක් ගායනා කර ඇති ගායකයෙකු වශයෙන් ඔහු ලබා ඇති ප්‍රසිද්ධිය හේතුවෙනි.  ඊට ප්‍රථම බොදු ගී සරණියෙහි ලා මොහිදින් බෙග් වැන්නන්ගේ නම් නිතර කියවුණි ද 70 දශකයෙන් පසුව ගීතය බෞද්ධ ආකල්පයෙන් බැහැරව ප්‍රේමය වැනි වෙනත් දිශානතියකට ගමන් කළ හෙයින් එවන් පසුබිමක් තුළ නිර්මාණකරුවන්ගේ දායකත්වය කෙතරම් ද යන්න පිරික්‍ෂීම අපගේ අරමුණ බවට පත්වුණි.   එහි දී අපට වැදගත් වූ ගායකයා වූයේ වික්ටර් රත්නායකයි.  ඒ බොදු ගී ගායනයේ දී භාවනාවකට සම වැදුනකුන් මෙන් සිය සුමිහිරි ගායනයෙන් රසිකයින්ගේ සවන්පත් නිවා සනසාලන ඔහු විසින් මේ වන විට ගයා ඇති බෞද්ධ ගීත සංඛ්‍යාව 30ක් පමණ වන බව සඳහන් වන හෙයිනි.  මෙහි දී ගී පද රචකයෙකු දෙස අවධානය යොමු නොකොට ගායකයෙකු දෙස අපගේ අවධානය යොමු වීමට බලපෑම් කළ හේතු සාධකය වූයේ විවිධ ගී පද රචකයින් විසින් විවිධ දෘෂ්ටින් මත පිහිටා නිර්මාණය කරන ලද ගීත ගායකයෙකු තෝරා ගැනීම මත ලබා ගත හැකි හෙයිනි.  මෙහි ලා පද රචකයෙකු තෝරා ගත්තේ නම් අපගේ නිබන්ධනය ඒකාකාරී වන අතර ම බෞද්ධ සංකල්පයන් අන්තර්ගත ගී එකතුවක් එවැන්නෙකුගෙන් සපයා ගැනීම දුෂ්කර ද වනු ඇත.  එවැනි බාධකයන් මග හරවා ගනු වස් අපි විසින් ගායකයෙකු තෝරාගත් බව පැවසීමට කැමැත්තෙමු.

                ගීතයක් පිළිබඳ විචාරයක් කිරීමේ දී හෝ විවරණයක යෙදීමේ දී ඕනෑම විචාරකයෙකුගේ හෝ ගවේෂකයෙකුගේ අවධානය  යොමු වන අංශ තුනක් පවති. ඒ පදරචනය, තනුව හා ගායනය වශයෙනි. ගීතයක මූලික සංඝටකයන් ලෙස ගැනෙන මෙය කරණ කොට ගෙන  ගීතය තුන් පාද කනප්පුවක් යැයි  විචාරකයන් පවසයි.  මෙහි දී අපගේ අවධානය යොමු වනුයේ ගීතයේ පද රචනාව සම්බන්ධයෙන් පමණක් වන බව සඳහන් කළ යුතුය.  ඒ තුළ ද භාෂාව, උපමා රූපක ආදිය දෙස අවධානය නොකරන අතර  ගීතය තුළ අන්තර්ගත බෞද්ධ සංකල්ප සම්බන්ධයෙන් පමණක් විමසීම සිදු කෙරේ.

                බෞද්ධ සංකල්ප පිළිබඳ සඳහන් කිරීමේ දී බුදු දහම යනු කුමක්දැයි හඳුනා ගැනීම ද වැදගත් වේ. බුදු දහම යනුවෙන් සලකනු ලබන්නේ  බුදුන් දේශනා කළ ධර්මය අන්තර්ගත දහමයි.  එසේ වුව ද මෙම බුදු දහම තුළ විවිධ නිකායන්ට හා පාර්ශවයන්ට බෙදී ගිය ධර්මයන් දක්නට ලැබෙන හෙයින් සැබවින් ම බුදු දහම යනු කුමක්දැයි යන ප්‍රශ්නය හිතට නැගේ.  ඒ අනුව මුල් බුදු දහම නැතහොත් මුල් බුදු සමය වශයෙන් සලකන දහමක් ද , ථේරවාදය, මහායානය හා ජනප්‍රිය බුදු දහම වශයෙන් සලකන දහමක් ද දක්නට ලැබෙන බව පෙනේ.  මෙයින් මුල් බුදු සමය ලෙස සලකන්නේ බුදුන් ජීවමාන අවධියේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වාත් එතනින් පළමු සංගීතිය දක්වාත් පැවති දහමයි. ඒ අනුව මුල් බුදු සමය ට අයත් වන්නේ ධර්මය හා විනය පිටකයට අයත් කාරණා පමණි.  අභිධර්මය තෙවන සංගීතියෙන් පසුව නිර්මාණය කරන ලද්දක් වන බැවින් එය මුල් බුදු සමය ට අයත් ලෙස නො සැලකේ.  දෙවන සංගීතියෙන් පසුව ධර්ම විනය මුල් කර ගනිමින් බුදු දහම ථේරවාදය හා මහායාන වශයෙන් බෙදුන අතර එහි දී ථේරවාදීන් ධර්ම විනය පිළිගනිමින් නිවන් මග අරමුණින් ගමන් ගත්තවුන් වන අතර ඊට විපක්‍ෂව කටයුතු කළ වුන් මහායාන ලෙස හඳුන්වා ඇත.  ජනප්‍රිය බුදු දහම ලෙස සලකනු ලබන්නේ වර්තමානයේ බුදු දහමයැයි ප්‍රදර්ශනය කරමින් ජනයා විසින් පවත්වනු ලබන බෝධි පූජා පිංකම්, අසූහාරදහසේ මහා පහන් පූජා, මහා බත් දන්සැල්, වෙසක් පොසොන් උත්සව, ධාතු ප්‍රදර්ශනයන් යනාදියයි.  ඒ අනුව සමස්ත බුදු දහම යනු කුමක් ද ? ඒ තුළ මුල් බුදු සමය යනු කුමක් ද? ඒ තුළ ථේරවාදය යනු කුමක් ද? ථේරවාදය තුළ අන්තර්ගත පොදු ජන විශ්වාස යනු මොනවාද ? ඒ තුළ වික්ටර් රත්නාකයන්ගේ ගීත යනු මොනවාද? යන්න විමසීම මෙහි දී අපගේ අරමුණ බවට පත්වේ. 



 තව දුරටත් කියවීමට මෙතනින් Click කරන්න

4 comments:

  1. හරවත් ලිපියක්. තවදුරටත් මේ වගේ සාරවත් දේවල්වලින් අපිව පෝෂණය කරන්න කියලා මම ඉල්ලනවා.

    ReplyDelete
  2. Oyage university eka mokakda??

    ReplyDelete